අපූරු යුවළක් ගැන සංවේදී කතා පුවතක් මුහුණු පොතේ සංසරණය විය. ඒ වකුගඩු රෝගී ශ‍්‍රී ලාංකීක තරුණයකු සමඟ බත් පැකට් විකුණන රුසියානු ජාතික කාන්තාවක් පිළිබඳ කතාවකි. ඔවුන් බත් පැකට් වෙළෙඳාම කරගෙන යනු ලබන්නේ මාලබේ Sliit ආයතනය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගයට මුහුණලාය.
කුඩයක සෙවණ යට පුංචි මේසයක් මත බත් පැකට් තබාගෙන වෙළෙඳාම් කරන ඒ තරුණ යුවළ පිළිබඳ මුහුණු පොතේ තබා ඇති සටහන කියවන ඕනෑම සංවේදී හදවතක් කම්පනයට පත්වන බව සැබෑය. එහෙත් මුහුණු පොතේ සඳහන් වී තිබුණේ ඔවුන් පිළිබඳ කෙටි විස්තරයකි. එම කෙටි සටහන තුළ අනුවේදනීය කතාවක් සැඟවී තිබෙන බව මට හැඟිණි. එසැණින් මම ඡායාරූප ශිල්පී නිමල් දයාරත්න ද කැටුව මාලබේ Sliit ආයතනය අසලට ගියෙමි. එම ස්ථානයට යන විටත් ආදරණීය යුවළ බත් පැකට් විකුණමින් සිටින අයුරු අපි දුටිමු. වහා ක‍්‍රියාත්මක වූ නිමල් අයියා තෙවැනි ඇස ක‍්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් කැමරා කාචයේ සටහන් කර ගන්නා අයුරු ද පෙනිණි. පසුව මම අනන්‍යතාව තහවුරු කරමින් ඔවුන් දෙපළ සමඟ කතාවට මුල පිරුවෙමි.



