ඒ 1984 වසරයි. එවකට රාජකීය විද්‍යාලයේ මා උසස් පෙල හදාරන සමයයි. වසර 1835 දී ඇරඹි අප රාජකීය විද්‍යාලයේ 150 වන සංවත්සරය යෙදි තුබූ 1985 වසරේ එම සුවිශේෂී සැමරුම, විශාල ප්‍රදර්ශනයක් මෙන්ම සැනකෙලියකින් පැවැත්වීමට ආදි සිසුන් විසින් වැඩසටහන් සම්පාදන කොට තිබූ ඒ අතීතය මට තවමත් මතකය.
ඊට සමගාමිව පාසලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමජිකයන් වූ අප අසරණ පවුල් 15ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද සංවිධාන කොට තිබිණ. ඒ සදහා අවශ්‍යතා අනුමැතිය අප ලබාගත යුතුව තිබුනේ එවකට අධ්‍යාපන ඇමතිව සිට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙනි. පාසල අසන්නයේම පිහිටි ඔහුගේ නිවසට අප පැමිණියේ අවශ්‍ය අනුමැතිය ලබා ගන්නටය. අපගේ උත්සාහය සහ උනන්දුව මෙන්ම අරමුණ ඔහුගේ පැසසුමට ලක් කරමින් ඒ වෙනුවෙන් එතුමාගේ සහය ලබාදීමට කැමැත්ත පල කල අතර ඒ මා සහ එතුමන් හමුවූ පලමු අවස්ථාව විය.

