Featured News

Video Gossip

Advertisement


දොඩංගොඩ - කඳහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු පෙරේදා (27දා) අලුයම අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මනෝජ් චන්දික සිල්වා නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයායි.

‍දොඩංගොඩ කහඳගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවෙසකට මිතුරන් සිවුදෙනකු සමඟ මුදල් ඔට්ටුවට බූරු ගැසීමට පැමිණි නෑබොඩ වෙල්ලත ප්‍රදේශයේ පුද්ගලයකු පෙරේදා (27දා) අලුයම දෙකට පමණ එම මිතුරන් සමඟ ත්‍රිරෝද රථයෙන් නිවෙස කරා යමින් සිටියදී ‍දොඩංගොඩ කහඳගොඩ ප්‍රදේශයේ පාළු රබර් වත්තකදී මෝටර් රථ දෙකක් මඟ හරස් කර එයින් බැස ආ මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයන් දස දෙනකු පොලු මුගුරුවලින් එම පිරිසට පහරදී සිවු දෙනකු පලවාහැර තිබූ බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. අනතුරුව පැමිණිලිකාර නෑබොඩ වෙල්ලත ප්‍රදේශයේ පුද්ගලයා ගෙල පැලැඳ සිටි රුපියල් හාර ලක්‍ෂ අසූ හත් දහසක් පමණ වටිනා පවුම් දහයක් පමණ බර රන් මාලය හා ඔහු සතුව තිබූ රුපියල් එක් ලක්‍ෂ පන්දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකුගේ සාක්කි සටහන් කර ගත් ‍දොඩංගොඩ පොලිසිය සිද්ධියට පැමිණි බව කියන සැකකාර මන්ත්‍රිවරයා හා පිරිසෙන් සිවු දෙනකු මෝටර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම පහරදීම හා කොල්ලකෑම මුදල් ආරවුලක් මත සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. පැමිණිලිකරු සැකකාර මන්ත්‍රිවරයාගෙන් ලබාගත් මුදල් වගයක් ලබා නොදී පැහැරහැරීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිසිය කියයි.

මෙම කොල්ලය සඳහා පැමිණි බව කියන තවත් මෝටර් රථයක් හා තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පවසන පොලිසිය එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම්.සී. පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements