වාහන කැබලිකර විකිණීම නිසා රවි කරුණානායක ඇමැතිවරයා ඇතුළු පිරිසක් රුපියල් මිලියන 6500 ක පාඩුවක් රජයට සිදුකර ඇති බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඊයේ (01 දා) රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි කළේය.
එම පැමිණිල්ල භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්‌වූ මධුමාධව මහතා මෙසේද පැවසීය. මේ ආණ්‌ඩුව බලයට ආවේ ජනතාවට පුංචි කාර් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි. පසුගිය සමයේ දී අපි වංචා දූෂණ ගණනාවක් පිළිබඳ තොරතුරු සාක්‍ෂි සහිතවම මෙම කොමිසමට ඉදිරිපත් කළා. මෝටර් රථවලින් බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 6500 ක් අයවිය යුතුව තිබූ මොහොතක රජයේ අනුග්‍රහයෙන් එම මුදල් රජයට අහිමි කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු අද මෙම කොමිසම හමුවේ තැබුවා. රවි කරුණානායක ඇමැතිවරයාගේ විශේෂ අනුග්‍රහය ලබන සමාගමක් වාහන 2250 ක් ඉතා සූක්‍ෂම ලෙස නියමිත බදු මුදල් නොගෙවා රටට ගෙන එනු ලබනවා. වංචා කළ මුදල් යළි අයකර ගැනීමට කටයුතු කරන ලෙස අපි මෙම කොමිසමෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා පැවසීය.

