මහරගම ට්‍රැෆික් PC හිසට වෙඩි තබාගත්තේ අනියම් පෙම් හුටපටයකට බව හෙලිවෙයි
gossip
,
gossip lanaka
,
Maharagama
,
News
,
police
රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මහරගම පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (28දා) පොලිසිය තුළදීම සියදිවි නසාගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.
අනුරාධපුරය - තලාව පදිංචිව සිටි දිසානායන මුදියන්සේලාගේ මනෝජ් දිසානායක (29) නමැති අවිවාහක නිලධාරියකු මෙසේ දිවි නසාගෙන ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා බත්තරමුල්ල ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමඟ වසර කිහිපයක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ (28දා) මෙම කාන්තාව කොස්තාපල්වරයා හමුවීමට පැමිණ මඳ වේලාවකට පසු මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
කොස්තාපල්වරයා එම කාන්තාව සමඟ රථ වාහන අංශය තුළ කතා බස් කරමින් සිට ඉන් අනතුරුව ආපනශාලාවට ගොස් යළි කතාබස් කරමින් සිට ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය. පසුව දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුව ඇති අතර කොස්තාපල්වරයා එම කාන්තාවට පහර කිහිපයක්ද එල්ල කර ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. පසුව දෙදෙනාම ආපනශාලාව පිටුපසට ගොස් ඇති අතර මඳ වේලාවකට පසුව කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් විවාහක කාන්තාව ඉදිරිපිටදී වෙඩි තබා ගෙන ඇති බව පසුව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. මීට වසරකට පමණ ඉහතදී මෙම කොස්තාපල්වරයා තලංගම පොලිසියේ සේවය කළ අයකු බවත්, එහිදී මෙම කාන්තාව දැන හඳුනාගෙන අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
එම කාන්තාවගේ විවාහක සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින්නකු බවත් බූස්ස කඳවුරේ පුනරුත්ථාපනය ලබන්නකු බවත් පොලිසිය කියයි. මියගිය කොස්තාපල්වරයා එම කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන අතරවාරයේදී තවත් කාන්තාවක් සමඟ සබඳතාවක් පවත්වන බවට එම කාන්තාවට දැන ගැනීමට ලැබී තිබේ. ඒ පිළිබඳව විමසමින් සිටියදී කොස්තාපල්වරයා මෙම කාන්තාව ඉදිරිපිටදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
සිද්ධිය වූ වහාම එම ස්ථානයට පැමිණි සෙසු පොලිස් නිලධාරීන් බරපතළ තුවාල ලබා බිම වැටී සිටි කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අතරවාරයේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය කොස්තාපල්වරයා තලංගම පොලිසියෙන් මහරගම පොලිසිය වෙත මාරු කර එවීමට මෙම අනියම් සබඳතාව හේතු වී ඇති බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. වෙඩි තැබීම සිදුවූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස භාර අපරාධ ස්ථාන පරීක්ෂණගාරයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හැඩිගල්ල මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

