“මට අද වගේ මතකයි, ඒ ආරංචිය එද්දී මම අනුරාධපුර සේවයේ නියුතුව හිටියේ. 1996 ජුලි 18 හරිම මූසල දවසක්. මගේ මල්ලිලා තුන් දෙනෙක්ම සේවය කලේ ආරක්ෂක අංශ වල. ඔය නැති වෙච්ච බාලම මල්ලී සේවය කරේ මුලතිව් පොලිසියේ. මල්ලිට යන්තම අවුරුදු 20 පිරුනා විතරයි. මල්ලී තමයි අපේ පවුලේ කඩවසම්ම. හරි පෙනුමයි.”
ඉයන් හේමානි මහත්මිය, තම වේදනාකාරී අතීත මතකයන් අවදි කලේ දිග සුසුමක්ද පිට කරමිනි. යකල්ල පදිංචි අවුරුදු 56ක් වන ඇය රජයේ පවුල් සෞඛ්‍යය නිලධාරිනියක ලෙස සේවය කරයි. ඇය පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සොහොයුරන් සය දෙනෙකි. ඉන් සතර දෙනෙක්ම ආරක්ෂක අංශයන්හි රැකියාවෙහි නියතු වේ. සොහොයුරන් තිදෙනෙකු පොලිස් සේවයේ නියුතු වූ අතර, තවත් එක සොහොයුරෙකු නාවික හමුදා සේවයේ නියුතුවිය. එක් සොහොයුරකු සී.ටී.බී සේවයෙහීද අනෙක් සොහොයුරු වගා කටයුතු වලද නියුතු වේ.
සොහොයුරන් තිදෙනාම එකම දින මුලතිව්හී සේවයේ නියුතුව සිටියදී අතුරුදහන්ව ඇති අතර වාසනාවකට මෙන් සොහොයුරන් දෙදෙනෙකු නැවත සොයා ගැනීමට හැකි විය. නමුත් පොලීසියෙහි සේවයෙහි නියුතු බාල සොහොයුරු නැවත ගෙදර නොපැමිණියේය. ඒ අතුරුදහන් වීම මුළු පවුලටම අඳුරු කාලයක් ගෙන එන ලදී. ඇගේ පවුලම කුරිරු යුද්ධයේ පීඩාවට පත්වූවන්ය.
“ඔය ආරංචිය අහලා මම සිහි නැතුව වැටුනා, පස්සේ මගේ සුසුම්නාවේ ස්නායු සම්බන්ධව ප්‍රශ්න ඇවිත් මමත් ලෙඩ වුනා. තාත්තා පොඩි මල්ලි එයි කියලා හැමදාම දොරකඩ බලන් හිටිය සිටියා. එදා ඉඳන් තාත්තාගේ කල්පනාව අඩු වුණා. මාස තුනක්වත් ගියේ නෑ, තාත්තා සම්පුර්ණ ලෙඩෙක් වුණා. පස්සේ තාත්තත් නැති වුණා.”
ඉයන් මහත්මියගේ හඬ දුබල විය. ඇයට තවදුරටත් කතා කරගත නොහැකිව ඉකි ගසන්නට විය. ඇයට මේ සියල්ල මතකයට නැගෙන දිනක් නොමැති බව ඇය පැවසීය.
“නාවික හමුදාවේ සේවය කරපු අනිත් මල්ලීටත් පොඩි මල්ලී නැති වෙච්ච එක හරියට මානසිකව බලපෑවා. ඒ මල්ලි සියදිවි හානිකරගන්න පවා ගියා. පස්සේ ඒ මල්ලීත් ගෙදර අවා. පසුකාලීනව කරපු කැඳවීම් වලදී යන්න සිදු වුණා”
මේ සියල්ලම පවුලේ වැඩිමල් සහ එකම ගැහැණු දරුවා ලෙස ඇය මහමෙරක් මෙන් දරා ගත්තාය. ඇයගේ මවගේ සෞඛ්‍යය තත්වයද මේ සිදුවීම් සියල්ලත් සමග පිරිහීමට පත් විය. මුළු පවුලේම මානසික සහ සෞඛ්‍යය තත්වය මින් පිරිහී සියල්ලන් ලෙඩ විය.
“පොලීසියේ මල්ලීටත් අපි බයටම යන්න දුන්නේ නෑ. ඒ මල්ලීටත් අදායම් මාර්ගයක් නැතුව අද ගෙදර.”
ඇය අවසාන වශයෙන් අවධාරණය කර සිටියේ, මේ යුධමය වාතාවරණයෙන් අසරණ වූ දහසක් පුද්ගලයන් රට පුරා සිටින බවත් ඔවුන්ට යම් පිළිසරණක් සහ අවධානයක් කඩිනමින් අවැසි බවත්ය.
“මට වන්දි වලට වඩා මගේ මල්ලීගේ ඇටකටු ටික හරි දකින්න ලැබෙනවා නම් ඇති”
ඒ ඇය ඇගේ සොහොයුරන් වෙනුවෙන් ඇති ලෙන්ගතු කම සහ තම ආත්ම අභිමානයයි. සියල්ලන්ටම රුපියල් සත වලට වඩා තම ආදරණීයන්ගේ අගය ඉහලය. නමුත් ප්‍රයෝගිකව සිතූ විට හානිපූරණය මේ සියල්ලන්ගේම අයිතියකි.
ඔවුන්ට අතුරුදහන් වූ සොහොයුරන්ගේ මාසික වැටුප ලැබෙන මුත්, එය සිය මවගේ සෞඛ්‍යය තත්වය සඳහා වියදම් වන බවත්, මෙයින් බලපෑමට ලක්වූ පවුලේ අනෙක් අයට කිසියම් මූල්‍යමය සහනයක් නොලබුන බවත් එය කාලීන අවශ්‍යතාවක් බවත් ඉයන් මහත්මිය පසක් කරලීය. හානිපූරණය, දිවයින පුරා සිටින වින්දිතයන්ව සිටින අපගේම සොහොයුරු සොයුරියන්ගේ කඩිනම් අවශ්‍යතාවකි.