Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

තව්හිද් ජමාත් සංවිධාන බොහෝ ප්‍රමාණයක් රට තුළ තිබෙන බවත් මේ ප්‍රහාරයේ සැලැසුම්කරුවකු සේ සලකන සහරාන් නම් පුද්ගලයාගේ යැයි පෙන්වන රුව මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පෙන්වුවත් තමන් හඳුනන පුද්ගලයාගේ රුව හා ඒ රුව අතර අසමානකමක් පවතින බවත් ඔහු මිය නොගියේ යැයි සිතා ඉදිරි කටයුතු සිදු කළ යුතුව ඇති බවත් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි. තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියයි.

අපේ සංවිධානය සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය. සිලෝන් කියන්නේ  ශ්‍රී ලංකාව අර්ථ නිරූපණය වන විදියට. තව්හිද් ජමාත් කියන නමින් විවිධ සංවිධාන තිබෙනවා. 2005 ඉඳන් 2018 දක්වා ශ්‍රී ලංකා හිතව්ද් ජමාත් කියලා SLTJ නමින් තමයි අපි කටයුතු කළේ. ඒ සංවිධානේ ඇතුළේ තිබුණු පරිපාලන ගැටලු නිසා වෙනම ඇවිත් 'සිලෝන් තව්හිද් ජමාත් කියන නමින් දැන් මාස හයක පමණ සිට කටයුතු කරනවා. 'SLTJ'කියන සංවිධානය 2005 වසරේදි නිර්මාණය කළේ අපි. අපි තමයි ප්‍රාරම්භකයෝ. ඒ සංවිධානය පටන් අරන් 2018 වනතුරු අපි කටයුතු කළා. මුස්ලිම් ජනතාවට ඉස්ලාම් දහම ගැන දැනුවත් කිරිම තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ජාති,

 ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට එක හා සමානව විදේශීය අරමුදල්වලින් තොරව දේශියව අපේ සාමාජිකයන්ගේ අරමුදල්වලින් සමාජ සත්කාර සිදු කළා. පරිපාලන ගැටලු නිසා අපි වෙන් වෙලා ආවත් ඒ පිළිවෙත දිගටම සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය හරහා සිදුකරගෙන යනවා.

ශ්‍රී ලංකාව තුළ තව්හිද් ජමාත් සංවිධාන දහයකට වඩා ක්‍රියාත්මක වෙනවා. ACTJ, SLTJ, UTJ ආදි එක එක පළාත්වල එක එක ප්‍රදේශවල නම් භාවිත කරනවා. ගම්පොළ තව්හිත් ජමාත්, උලපනේ තව්හිද් ජමාත් ආදී වශයෙනුත් ක්‍රියාත්මක වෙනවා. සංවිධානයක් වශයෙන් අපි කටයුතු කරන්නේ අපේ නෛතික අවශ්‍යතා උදෙසා. මේ ප්‍රහාරයට චෝදනා එල්ල වුණු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ අපගේ කිසිදු සම්බන්ධතාවක් නැහැ. කලින් ලංකාවේ තවිහිද් ජමාත් නමින් විවිධ සංවිධාන කටයුතු කරනවා. ඒ සංවිධානවලටත් ජාතික තව්හිද් සංවිධානයටත් කිසිදු සම්බන්ධතාවක් තිබ්බේ නැහැ.වෙන වෙනම සංවිධාන ලෙස හිටිය නිසා තමයි ඔවුන් වෙන වෙනම ක්‍රියාත්මක වුණේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානය මඩකළපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණු සංවිධානයක්. ප්‍රදේශයට ආවේණික වුණු සංවිධානයක්. සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය මුළු දිවයිනටම අදාළ සංවිධානයක්.

එක එක සංවිධාන වෙන වෙන නම්වලින් ක්‍රියාත්මක විම තුළ ඔවුන් ස්වාධීනයි කියන එක පැහැදිලි වෙනවා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයත් ඒ කාලේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කටයුතු කරපු සංවිධානයක්. නමුත් ඒ සංවිධානයේ "සහරාන්" කියන පුද්ගලයෙක් තමයි කතාබහට ලක්වෙන්නේ. මේ ප්‍රහාරය පිටුපස සැලැසුම්කරු ඔහු කියලා කතා වෙනවා. ඒ ප්‍රහාරය පිටුපස සැලැසුම්කරු ඔහු නම් ඒ පුද්ගලයාගේ මතවාදයත් වෙනස්වීමක් සිදු වුණා. ඒ බව අපිත් වටහා ගත්තා. ඒ බව ඒ සංවිධානයේ ඉන්න අනෙකුත් අයත් වටහා ගත්තා. ඒ බව දැනගෙන 2017 සහරාන් කියන පුද්ගලයටයි ජාතික තව්හිද් ජමාත් සංවිධානයටයි සම්බන්ධයක් නැහැ කියලා ඔවුන් නෙරපා හැරියා. සහරාන් කියන පුද්ගලයන්ගේ හැසිරීම මතවාද දරුණු විමක් සිද්ධ වෙලා. මේ ආකාරයෙන් ඒ සහරාන් කියන පුද්ගලයා ප්‍රහාරය එල්ල කරලා තියෙනවා නම් එය දරුණුම ප්‍රහාරයක්.

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මේ ප්‍රහාරයට ඔවුන් සම්බන්ධ නැහැ කියලා නිවේදනයක් නිකුත් කරලා නැති නිසා දැනට සැකයක් මතුවෙලා තිබෙනවා. කිසිදු තව්හිද් ජමාත් සංවිධානයකට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග


 කිසිදු සම්බන්ධතාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය තුළ සහරාන්  කටයුතු කරද්දි අපි හිටියේ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය තුළ. ඒ වෙද්දීත් අපිට  සහරාන් එක්ක ආගමික මතගැටුම් තිබුණා. ආගමික ප්‍රතිපත්ති ගැන සහරාන් දරන මතයත් අපි දරන මතයත් අතර ගැටලු තිබුණා.  2016 වසරේදි සහරාන්ගේ මතවාදවල වෙනස්කමක් සිද්ධ වෙනවා. IS සංකල්පවලට පක්ෂව කතා කරන තත්වයට පත්වුණා.  ජිහාඩ්වාදී සංකල්ප ඔහු තුළ ඉස්මතු වුණා. අන්තවාදීව දරුණු ලෙස ත්‍රස්තවාදයට සාපේක්ෂව කතා කරන ස්ථාවරයකට ඔහු පත්වෙනවා. ඒ අවස්ථාවල ඔහු ප්‍රසිද්ධියේම ඔහුගේ මුහුණු පොත හරහා විඩියෝ පට නිකුත් කරද්දී එහි භයානක බව වටහා ගත්ත අපි ඒ කාලයේදිම ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට ශ්‍රී ලංකා බුද්ධි අංශ ප්‍රධාන නිලධාරින්ට මොහුගේ මතවාදී වෙනස්වීම් ගැන දැනුවත් කළා.

මෑතකදී බුද්ධ ප්‍රතිමාවලට ප්‍රහාරයක් එල්ල වුණා. අපි ඒ සඳහා අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදිත් අපි බුද්ධි අංශවලට මේ ප්‍රහාරවලට මුස්ලිම් තරුණයන් සම්බන්ධ වෙලා හිටිය නම් අනිවාර්යයෙන්ම සහරාත් එක්ක සම්බන්ධයක් ඇති කියලා අපි කරුණු වාර්තා කළා. අපි ශ්‍රී ලංකාවේ දශක තුනක් පැවැති එල්ටිටිඊ සංවිධානය අතුගා දමපු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ බුද්ධි අංශවලට මේ තරම් දුරට මේ පුද්ගලයා ගැන විවිධ පාර්ශව අනතුරු ඇඟවීම් කරලා තියෙද්දිත් සාමාන්‍ය ගණයේ පුද්ගලයෙක් මේ තරම් දරුණු වෙනස්කම් ඇයි බලන් හිටියේ කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා. 2016දි තමයි සහරාන් කියන පුද්ගලයා ඔහුගේ මතයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන්නේ. IS සංවිධානයේ බලපෑම් ඒ කාලවලදී තමයි ලංකාවට තදින්ම බලපෑම් කරන්න පටන් ගත්තේ . ඊට කලින් IS සංවිධානයේ යම් යම් මතවාදයන් ගැන පදනම් විරහිත චෝදනා තමයි ඉදිරිපත් වුණේ.

2016 ඒ කාල සිමාවල සිරියාවත් සමහ ඇතැම් පුද්ගලයන් සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලවල තමයි අපිත් අවබෝධ කර ගත්තේ. IS සංවිධානයේ යම්කිසි බලපෑමක් ලංකාවට තියෙනවා කියලා. මේ තරම් දුරට සංවිධානාත්මකව ඔවුන් හැසිරුණේ කොහොමද කියන එක අපිටත් ප්‍රහේළිකාවක්. මේ ප්‍රහාරය සිද්ධ වෙනකම්ම අපි කවුරුත් හිතන් හිටියේ නැහැ මේ තරම් දුරට දරුණු ගණයේ පුද්ගලයන් කණ්ඩායමක් විදියට මේ අය වර්ධනය වෙලා තියෙනවාද කියලා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයට බරපතළ ලෙස ජාතික මට්ටමින් චෝදනාවක් එද්දී එයට විරෝධය පළ කරලා හෝ නෛතිකව හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. දවස් දෙක තුනක් කියන්නේ විරෝධය පළ කරන්න හොඳටම ප්‍රමාණවත් කාලයක්.

ඒ තුළින් අපිට සැකයක් මතුවෙනවා මේ සංවිධානය මතුපිටින් සහරාන්ට සම්බන්ධතාවක් නැහැ කියලා ප්‍රකාශ කරලා කිඹුල් කඳුළු හෙළලා ඇතුළාන්තයෙන් ඔවුන් යම්කිසි විදියකට සහයෝගයෙන් කටයුතු කරනවාද කියන සාධාරණ සැකයක් අපිට මතුවෙනවා. පුවත්පත්වල වාර්තාවන ආකාරයට සහරාන් කියන පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බයක් සමඟ ඔහු සම්බන්ධ වෙලා සිටියා කියලා මුහුණක් පෙන්වනවා. අපි ඒ මුහුණ දිහා බලද්දි සහරාන් කියන පුද්ගලයාගේ මුහුණ සමහ අසමානකමක් දකිනවා. සහරාන් කියන පුද්ගලයාත් දැන් මරණයට පත්වෙලා කියන කාරණය අපිට පිළිගන්න බැරි තත්වයක් තියෙන්නේ. සහරාන් මියගියා කියන මතයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඔහු ජීවතුන් අතර ඉන්න පුළුවන් කියන මතයෙන් විමසිලිමත්ව ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරන එක අපේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා. නිශ්චිත වශයෙන් කියන්න බැරි වුණත් මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි කියන සාධාරණ සැකය අපි තුළ තිබෙනවා.

සහරාන් තවමත් නිදැල්ලේ බවටත් මුස්ලිම් පල්ලිවලට පහරදෙන්න හදන බවටත් ආරංචි

පසුගිය ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ මේ වනවිට විශ්වාස කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බකරු ඔහු යයි කළ අනුමාන වැරදි බව පොලිසියට පසුව ඒත්තු ගියේය.මීට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන්ටද මොහු සම්බන්ධ වී ඇති අතර තවත් දෙදෙනෙකු ඊට සම්බන්ධ වී ඇතැයිද ඔවුන් සහෝදරයන් බවටද තොරතුරු ලැබී තිබුණි. 

කෙසේ වෙතත් බෝම්බ පිපිරීමට එක් නොවූවද සැලසුම පසුපස සහරාන් සිටින බව පොලිසිය සැක කරයි. අයි එස් සබඳතා සහිතව පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානය තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බව පොලිස්පතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක දිසාව, විශේෂ ආරක්ෂක දිසාව සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව යන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ. 

එම තොරතුරු සඳහන් ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් වෙත ද යවා ඇත.

"කුප්පු පල්ලි නොහොත් අවුලියා පල්ලි" නම් ඉස්ලාම් දේවස්ථාන ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කිරීමේ සූදානමක් පවතින බව එම ලිපියෙන් දැක්වෙයි. කුප්පු පල්ලි යනුවෙන් හැඳිවෙන්නේ මියගිය මුස්ලිම් නායකයින්ගේ සොහොන් මුල් කරගෙන ඇදහීම් කරන මුස්ලිම් පල්ලි බව ද එම ලිපියෙහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් එක් එක් කොට්ඨාශයට අදාළ ප්‍රභූවරුන් දැනුවත් කරන ලෙසත් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් එම ලිපියෙන් දන්වා ඇත.

අදාළ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙන් ප්‍රසිද්ධ කර තිබිණි. (පහත දැක්වේ) 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන අය සමග සහරාන් තවම කටයුතු කරන බවත් ඔවුන් තිදෙනාම තවමත් නිදැල්ලේ සිටින බවත් පොලිසිය සැකකරයි. මෙම සහෝදරයින් රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නමැති මවුලවිවරයකුගේ පුතුන්ය.

මාවනැල්ලේ පිහිටි ඔවුනගේ නිවසක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් මීට මාස කිහිපයකට පෙර පොලීසිය සොයාගෙන තිබුනි. 21 වනදා ප්‍රහාරයට පෙර 18 වනදා සිට මේ දක්වා සහරාන් ඇතුළු පවුලම අතුරුදන්ව සිටින බවට ඔහුගේ නැගණිය ඊයේ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණි. මොවුන්ගේ ඉදිරි සැලසුම සෙවීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook