Featured News

Video Gossip

Advertisement

ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු රහසිගත තොරතුරු කිහිපයක් ඔස්සේ කළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ තව්හිද් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර එහි නායකයා වූ සහරාන් හෂීම් සමග කිට්ටු සබඳතා පවත්වමින් එම සංවිධානයේ දියුණුව සඳහා පූර්ණකාලීනව දායකවී ඇති බවද අනාවරණය වී ඇත.

මොහු පාර්ලිමේන්තුවේ සේවය කර ඇත්තේ රුපියල් එක් ලක්‍ෂ විසි දහසක මාසික වැටුපක් ලබමිනි.

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු මුනාස් නමැති මෙම සැකකරු රාජකාරි සඳහා වාර්තා කර ඇත්තේ දින කිහිපයක් පමණි.

මොහු සේවයට වාර්තා නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු පරිපාලන අංශය විසින් අවස්ථා කිහිපයකදීම අවවාදාත්මක ලිපි යවා ඇති බව හෙළිවී ඇත.

සැකකාර මුනාස් පිළිබඳව පොලිසිය වෙත මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලම සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදීය.

සහජනන් නමැති මෙම ත‍්‍රස්තවාදියා කුරුණෑගල මහ රෝහලේ ඊ.සී.ජී. පරීක්‍ෂණ අංශයේ ප‍්‍රධානියකු ලෙස රාජකාරි කළ අයෙකි.

එම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයකු වන මුනාස් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක් ලබාදී ඇත.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් කථානායක කරු ජයසූරිය මහතාද දැනුවත් කර කුනාද් රාජගිරිය ප‍්‍රදේශයේ ඔහුට අයත් නිවසක සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන මුනාස් රුපියල් තිස් ලක්‍ෂයක මුදලකට රාජගිරිය ප‍්‍රදේශයේ නිවසක් මිලයට ගෙන එහි තාවකාලිකව නවාතැන් ගෙන සිටිමින් රාජකාරියට වාර්තා කර තිබේ.

මොහු සති අන්තයේ මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ නිවසට යෑමට පුරුදුව සිට ඇති අතර එසේ යන සෑම අවස්ථාවකදීම අකුරණ ප‍්‍රදේශයේ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සමග සාකච්ඡුා පවත්වා ඇත.

අකුරණ ප‍්‍රදේශය තව්හිද් ජමාත් සංවිධානයේ මූලස්ථානය බවට පත්කරගෙන සිට ඇති මොහු වෙනත් ප‍්‍රදේශවලින් පැමිණෙන අය එම ප‍්‍රදේශයේදී රහසිගත ස්ථානයක හමුවී සාකච්ඡුා කිරීමට පුරුදු වී ඇත.

අකුරණ ප‍්‍රදේශයට ඇතුළු වන ප‍්‍රධාන මාර්ග හතරක පොලිස් මාර්ග බාධක යොදා තිබීම තම සංවිධානයේ ක‍්‍රියාකාරීත්වයට විශාල බාධාවක් බව එම අය නිතර සාකච්ඡුා කර ඇත.

එහිදී මුනාස් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේදි තමන් දන්නා හඳුනන දේශපාලනඥයන් මාර්ගයෙන් මෙම පොලිස් මාර්ග බාධක ඉවත් කර දැමීමට කටයුතු කරන බවයි.

මෙම ත‍්‍රස්තවාදියා නවාතැන් ගෙන සිටි රාජගිරියේ නිවස පොලිසිය දැඩි පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහි තිබී සැකකටයුතු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මොහු නිවසේ තිබූ තව්හිද් ජමාත් සංවිධානයට අයත් ලිපි ලේඛන ඇතුළු නොයෙකුත් භාණ්ඩ විනාශ කර දමා ඇති බවට විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරු පැය 72 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිස් ආරංචිමාර්ග පැවසීය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු පවත්වති.

හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements