Featured News

Video Gossip

Advertisement

එක්දින පිටියේ දස්කම් පෑ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සහභාගීවන අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය සඟයා වෙනුවෙන් හා රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් බංග්ලාදේශයට එරෙහිව ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 314ක් රැස්කර ගනිති.

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දිවා - රාත්‍රී එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණරත්න මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර කුසල් ජනිත් පෙරේරා 35000ක පමණ ක්‍රීඩා පිටියේ සිටි ප්‍රේක්ෂක පිරිසට අමතක නොවන ඉනිමක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 111ක් රැස්කිරීම කාගේත් සිත්ගත් අවස්ථාවක් විය.අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණ මිනිත්තු 140ක් කඩුල්ලේ රැදී සිට පන්දු 99කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 17ක් ඇතුළත්වූ කුසල්ගේ එම ඉනිම ඊයේ සමුගැනීමට සූදානමින් සිටින මාලිංගට උපහාරයක් වැනි ලකුණු මල්දමක්වූ අතර ශ්‍රී ලංකා ඉනිමට කදිම ශක්තියක් විය. ආර්. ප්‍රේමදාස පිටියේ කුසල් ජනිත් වාර්තා කළ පළමු එක්දින ශතකයවූ මෙය ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 5වැනි ශතකය විය. ඔහු ක්‍රීඩා කළ එක්දින ඉනිම 11කට පසුව මේ අගනා ශතකය ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වූ අතර මුල්ම ලකුණු 50 පන්දු 39කදී හා ලකුණු 100 පන්දු 81කදී වාර්තා කළේය. කුසල් ජනිත් දැවී යද්දී කුසල් පෙරේරා සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩනගා තිබිණි.

ආරම්භක පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර අවිශ්ක තෙවැනි ඕවරයේදීම ශ්‍රී ලංකාව ලකුණු 10ක් ලබා තිබියදී පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි සෞම්‍ය සර්කාර් වෙත උඩ පන්දුවක්දී දැවීගිය අතර දිමුත් කරුණාරත්න රුබෙල් හොසේන්ගේ පන්දුවකට ස්විප් පහරක් එල්ල කරද්දී ෂෝට් ෆයින් ලෙග් හී සිටි මුෂ්ටාෆිෂූර් රහමන් වෙත පහසු උඩ පන්දුවක් ලබාදී ලකුණු 36කට දැවිගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් ලබා තිබියදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට දුන් උඩ පන්දුවෙන් ක්‍රීඩාගාරයට ගියේය. කුසල් මෙන්ඩිස් මේ ලකුණු ගණනට පන්දු 49ක් වැය කළ අතර හතරේ පහර 4ක් එල්ල කළේය. ඔහු ලකුණු 28ක් ලබා සිටියදී එල්ල කළ ඩ්‍රයිව් පහරක් මිඩ් ඕන්වෙත ඉහලින් ඇදී යද්දී මොහොමදුල්ලා රැක ගැනීමට උත්සහා කළද ව්‍යවර්ථ විය. ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිකිරීමට ගිය ළහිරු තිරිමාන්න රුබෙල් හොසන්ගේ පන්දුවකට ඩීප් මිඩ් විකට් හී සිටි සෞම්‍ය සර්කාර් වෙත උඩ පන්දුවක්දී ලකුණු 25කට දැවී ගිය අතර එවැනිම ඉරණමකට තිසර පෙරේරා ලක්වෙමින් ලකුණු 2කට දැවී ගියේය. හත්වැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් තම 39වැනි අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 48කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 18කට දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ නියමිත ඕවර් 50 අවසාන වෙද්දී නොදැවී කඩුල්ලේ සිටි මාලිංග ලකුණු 6ක් රැස්කරගෙන සිටියේය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින කඩුලු 49ක් ලබා සිටියදී සමුගන්නා ලසිත් මාලිංග බංග්ලාදේශයේ පිතිකරුවන්ට එල්ලකරන තර්ජනය කුමක්ද යන්න බොහෝ දෙනකු අපේක්ෂාවෙන් සිටි අතර පුවත්පත මුද්‍රණයට යද්දී එම ඉනිම ආරම්භවී නොතිබිණි. සමුගැනීමේ තරගය අවසානයේ ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයමින් විශාල වටිනාකමකින් යුත් ‘රන් කාසියක්’ සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. තරගය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා අවට ලසිත් මාලිංගගේ රුව ඇතුළත් යෝධ පුවරු තැනින් තැන ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා තිබීමෙන් මේ තරගයේ අලංකාරත්වය තව තවත් වැඩිවී තිබිණි.

2004 වසරේ ජූලි මස 17වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ මාලිංග එදා මෙදාතුර එක්දින තරග 225කට ක්‍රීඩාකර ඇති අතර කඩුලු 335ක් බිදහෙලා තිබේ. ලොව භයානකම යෝකර් පන්දු යවන්නා ලෙස සැලකෙන මාලිංග 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් බිඳ හෙලා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්විය.

තරගය ආරම්භයේදී ලසිත් මාලිංගට උණුසුම් පිළිගැනීමක් ලබාදී තිබූ අතර ඔහුගේ ක්‍රිකට් මඟ හෙළි කිරීමට උපකාරවූ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා සිප වැළද ගැනීම සංවේදී අවස්ථාවක් විය. රාමනායක මහතා ඇතුළු ක්‍රිකට් පිලේ සියලු සාමාජිකන් අවසන් එක්දින තරගයට සහභාගීවූ මාලිංගට සුභ පැතුම් එක්කරනු දක්නට ලැබුණි.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements