Advertisement

තාවකාලිකව ඉවත් කර ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් එම තනතුරේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කරනු ඇතැයි වාර්තා වේ. ඒ ඔහු සමග එළඹ ඇති ගිවිසුමට අනුව ඔහුව ඉවත් කිරීම අතිශය බැරෑරුම් වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන් අතර ඒ අනුව ඔහුව තාවකාලිකව ඉවත් කර රුමේෂ් රත්නායක මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් කෙරිණි.
කෙසේ වෙතත් හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ ගිවිසුම් කාලය තවදුරටත් පවත්නා බැවින් ධුරයෙන් සමු ගැනීමට සූදානම් නොමැති බවයි. ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතාවය මත තමන්ට ඉවත්ව යාමට සිදුවන්නේ නම් ගිවිසුම් ප්‍රකාරව තමාට වන්දි මුදලක් ලබාදිය යුතු බව ද ඔහු දන්වා තිබෙනවා.

චන්දික හතුරුසිංහ මහතා සමග ක්‍රිකට් ආයතනය එළඹ ඇති ගිවිසුමට අනුව යම් හෙයකින් නියමිත කාලයට පෙර ක්‍රිකට් ආයතනය ගිවිසුම අවසන් කරන්නේ නම් මාස 12 ක වැටුපට සමාන මුදලක් හතුරුසිංහ මහතා වෙත වන්දි වශයෙන් ලබාදිය යුතුය. ඒ අනුව හතුරුසිංහ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ක්‍රිකට් ආයතනය විසින් ඔහුට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 06 කට අධික බවයි වාර්තා වන්නේ.


මෙරට ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වැටුපකට හිමිකම් කියන පුහුණුකරුවා වන්නේ හතුරුසිංහ මහතාය. එම වැටුප ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75 කි.

අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියමාර්ග ගැනීමට හතුරුසිංහ මහතා සූදානම් වන අතර එසේ වුවහොත් එය ක්‍රිකට් ආයතනයට දැඩි අවාසි සහගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්කෝ හතුරුසිංහ මහතා ඉල්ලා සිටින වන්දි මුදල ගෙවිය යුතුය, නැත්නම් ඔහු තවදුරටත් පුහුණුකරු තනතුරේ රඳවා ගැනීමට සිදු වේ.

ඒ අනුව බොහෝදුරට හතුරුසිංහ මහතා තවදුරටත් පුහුණුකරු තනතුරේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements