Featured News

Video Gossip

Advertisement

පාසල නිම වී කිලෝමීටර් 60ක් පමණ දුර ගෙවා නිවෙසට පැමිණෙමින් සිටි තරුණ ගුරුවරියක් නිවෙසට මීටර් 100ක් පමණ තිබියදී අතුරුදන්ව ඇතැයි ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ගම්පොළ, කීරපනේ පදිංචි චන්දිමා නිසන්සලා රත්නායක නමැති 27 හැවිරිදි ගුරුවරියකි.

හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ සේවය කරන ඇය පසුගිය පළමු වැනිදා පාසල නිම වී සවස 4ට පමණ නිවෙසට එමින් සිටියදී මෙසේ අතුරුදන්ව ඇත.

උපාධිධාරිනියක් වන මේ තරුණ ගුරුවරිය ශ්‍රී පාද විද්‍යාලයේ 6 වසර පන්තිය භාර ගුරුවරිය වූවාය. ඉංග්‍රීසි විෂය පිළිබඳ හසල දැනුමක් ඇති ඇය පාසලේ ඉංග්‍රීසි විෂයද උගන්වා තිබේ.

පාසල නිමවීමෙන් පසු ඇය තවත් ගුරුවරියක් සමඟ ගම්පොළට පැමිණ ඇති අතර බසයෙන් බැස පා ගමනින් තම නිවෙස වෙත යමින් සිට ඇත.

නිවෙස ආසන්නයේ ඇති උසස් අධ්‍යාපන ආයතනයක සීසීටීවී කැමරා දර්ශනවල ඇයගේ ගමන් සටහන්ව ඇත්තේ සවස 4.06ටය.

ඒ වන විට වර්ෂාවද ආරම්භ වී තිබී ඇති අතර ඇය කුඩයක්ද රැගෙන එම ස්ථානයෙන් ඈත්ව යන අයුරු ඉතා පැහැදිලිව දක්නට ඇත. 

චන්දිමාගේ මව වන චන්ද්‍රා ජයවීර මහත්මිය සිද්ධිය මෙසේ විස්තර කළාය.

“මගේ දුව ගම්පොළ පොලිසියේ පොලිස් නිලධාරියකු සමඟ විවාහ ගිවිසගෙන ඉන්නේ, එයා හැමදාම ඉස්කෝලේ ඉවර වෙලා 4.30ට විතර වෙනකොට ගෙදර එනවා. පළමුවැනිදා එයා සවස 6 වෙන තෙක්ම ගෙදරට ආවේ නැති නිසා අපි විදුහල්පතිතුමාට කතා කර ඇහුවා ඉස්කෝලේ රැස්වීමක්වත් තියෙනවාද කියලා. විදුහල්පතිතුමා කීවා වෙනදා වේලාවට ඇය පාසලෙන් ආවා කියා.

දුවගේ දුරකථනය වැඩ කළෙත් නෑ. අපි මේ ගැන හොයලා බලන කොට අනෙක් ටීචර්ලාගෙන් දැන ගත්තා එයා ගම්පොළ බස් නැවතුම්පොළෙන් බැස්සා කියලා.”

“ඊට පස්සේ අපි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ කැමරා පරීක්ෂා කරන කොට එයා නිවෙසට එන බව තහවුරු වුණා. ගමේ අයයි පොලිසියයි දුව හෙව්වත් තාම ආරංචියක් නෑ. කවුරු හරි එයා පැහැර ගත්තාද කියලත් අපට සැකයක් තියෙනවා. වැස්ස තිබුණු නිසා ගමේ අයයි පොලිසියයි 

ඇළවල් හා කානුවලත් හෙව්වා. කවුරු හරි එයා ගැන තොරතුරක් දන්නවා නම් අපට හරි පොලිසියට හරි දැනුම්දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

ගම්පොළ - මාධව බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements