Advertisement

ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.

හෙට උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් මෙය විවෘත වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.

එම රාජ්‍ය උත්සවයේ සූදානම පිරික්සීමට අද (16) යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙවැන්නකි,

''මේ අපේ රටේ ඉතාමත් වැදගත් දවසක්. ඇත්තටම ගුවන්‌ තොටුපොළක් කියන්නේ ගුවන් ගමන් විතරක් නෙමෙයි. ගුවන් තොටුපොළත් සමග විශාල සංවර්ධනයක් ඇති වෙනවා. රැකියා විශාල වශයෙන් ‍උත්පාදනය වනවා. ඒ වගේම අපි දන්නවා උතුරේ ජනතාවගේ ඥාතින් විශාල පිරිසක් ඉන්නේ දකුණු ඉන්දියාවේ. මින් ඉදිරියට උතුරේ ජනතාවට කොළඹ කටුනායකට නොගොස් යාපනයේ සිටම දකුණු ඉන්දියාවට යන්න පුළුවන්. මූලික සැලසුම්වලදි අපි ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ සතියකට ගුවන් වාර 03ක් විතර. නමුත් දැන් අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළ අවස්ථාවේ නගර කිහිපයක් ඉලක්ක කර දවසකට එකක් වගේ ගුවන් ගමන් වාරයක් අරඹන්න අපේක්ෂා කරනවා. 

අපි බලාපොරත්තු වෙනවා ඒ ගැන නොවැම්බර් වනවිට අවසාන තීරණය ගන්න. ඒ වගේම ශ්‍රී ලංකාවට 50% ක අයිතිවාසිකම් තියෙන අයෝජකයෙක් ආවොත් අනිවාර්යෙන්ම ඒ ගොල්ලන්ටත් පුළුවන් දකුණු ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලට ගුවන් ගමන් මෙතැනින් යන්න. '' යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසිය.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ.

ඒ Alliance ගුවන් යානයකි. මංගල දූත කණ්ඩායම තිස් දෙනකුගෙන් සමන්විත වේ. හෙට විවෘත කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙයි. යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 ,250ක් වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි.

ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදි දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කළ බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාවද උදා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements