Advertisement

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ වියදම් ඇස්තමේන්තු කරන නියාමන ව්‍යාපෘතියේ පළමු අතුරු වාර්තාව ඊයේ (05) නිකුත් කර තිබේ.

එම අතුරු වාර්තාවට අනුව ඔක්තොම්බර් මස 14 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රචාරණ වියදම් වෙනුවෙන් අවම වශයෙන් මිලියන 574ක මුදලක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අවම වශයෙන් රුපියල් මිලියන 372ක් ද වැයකර තිබේ.
එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රචාරණ වියදම් සඳහා රුපියල් මිලියන 16ක් අවම වශයෙන් ඇස්තමේන්තු ගතකර තිබේ.

එම මුදල ප්‍රතිශතයක් ලෙස ගෝඨාබය රාජපක්ෂ සියයට 60ක් ද සජිත් ප්‍රේමදාස සියයට 39ක් ද අනුර කුමාර දිසානායක සියයට 1ක් ද ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා තිබේ.

මෙම මැතිවරණ වියදම් සඳහා ගුවන් විදුලි සහ සමාජ මාධ්‍ය වෙනුවෙන් යොදවා ඇති මිල ගණන් ඇස්තමේන්තු ගතකර නොමැත.

කෙසේ වෙතත් රූපවාහිනී මාධ්‍ය ආයතන දැන්වීම් සඳහා අයකරන මිල ගණන් අනුව සහ අදාළ අපේක්ෂකයන් පළකර ඇති දැන්වීම් ප්‍රමාණය අනුව ඉහත මිල ගණන් ඇස්තමේන්තුගත කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම ගතවූ සති දෙකක කාලය තුළ සිදුකරන ලද අධ්‍යන අනුව ගෝඨාබය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් වියදම් කරනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පෙන්වා දෙන්නේ, මෙම මැතිවරණ වියදම් සලකා බැලීමේදී මැතිවරණයේ සම බිමක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවය. එසේම මෙම අරමුදල් කාගෙන් ලැබෙන්නේද යන්න ගැටළුවක් බව ද මුදල් ලබාදෙන්නා නියෝජනය කරන කුලකය මත්ද්‍රව්‍ය ද පාතාලය ද යන්න සදාකාලික අභිරහසක් ලෙස ද ඒ මහතා සඳහන් කරයි.

එසේම මෙම තත්වය වැලැක්වීමට අපේක්ෂකයන් සිදුකරන මැතිවරණ වියදම් අනාවරණය කරගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීතී ගෙන ආ යුතුබවත් මංජුල ගජනායක මහතා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements