හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති හෙයින් ඔහුගෙන් පුරප්පාඩු වන එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන සංවිධායක ධුරය ලබාගැනීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ලංකා බැංකුවේ හිටපු සභාපති, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා අතර තියුණු සටනක් මතුව ඇති බව වාර්තා වේ.
ජෝන් අමරතුංග මහතාගෙන් පුරප්පාඩු වන ආසන සංවිධායක ධුරය සඳහා එජාපය තුළින්ම මුලින්ම යෝජනා වී තිබුණේ ඒ මහතාගේ බෑණනුවන් වන දිනේශ් වීරක්කොඩි මහතාවය. එහෙත් තමන්ට දැන්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව පවසමින් ඒ මහතා එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර එජාපයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය වත්තල ආසනය කෙරෙහි යොමුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්රයෙන් පහළ බැසීම නිසා බව ද වාර්තා විය. සජිත් ප්‍රේමදාස මහතාගේ ළඟම හිතවතෙකු සහ සජිත් පිළේ ඉහළම ක්‍රියාකාරිකයකු වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ඉහළම ජයග්‍රහණයක් ලබාදීමට හරීන් සමත්වනු ඇතැයි සජිත් පිළ බලාපොරොත්තු වුව ද එවැන්නක් ළඟා කරදීමට හරීන් ප්‍රනාන්දු මහතා අසමත් විය.
අනෙක් අතට එජාපය සිංහල බෞද්ධ කේන්ද්‍රීය ප්‍රතිසංවිධානයක් සඳහා යොමුවීමේ සූදානමක් ද පවතින හෙයින් කතෝලිකයකු වශයෙන් තමන්ට කැපී පෙනිය හැකි ආසනයක ස්ථානගත වීම කෙරෙහි ද හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බව සඳහන්. ඒ අනුව එජාපයට විශාල ජනපදනමක් ඇති, එජාපයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වත්තල ආසනයට පැමිණීමට හරීන් ප්‍රනාන්දු මහතා දැඩි උනන්දුවෙන් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ද වත්තල ආසන සංවිධායක ධුරය අපේක්ෂාවෙන් සිටින නිසා හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහු අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇති බවත් වාර්තා විය.

