Featured News

Video Gossip

Advertisement

ඇමතිතුමාගෙ ලේකම් කියලා කෙනෙක් අපිට කතා කරලා කීවා අපිට මේ වෙලාවේ රුපියල් ලක්‍ෂ පහක් දෙන්න අමාරුයි කියලා

අපේ දරුවා මැරුණ හේතුව දන්නෙත් නැහැ

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිය දී ඉකුත් 15 වන දා හදිසියේ මියගොස් ඇතැයි කියන ශ්‍රී ලාංකික තරුණයෙක් වන සජිත් මධුෂාන් කුලතුංගගේ සිරුර මෙරටට ගෙන්වා දීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ ඒ සඳහා තමන්ට මුදල් නොමැති බවයි.

එනිසා ඒ සඳහා වැයවන මුදල සොයා ගැනීම සඳහා ගෙයින් ගෙට සිඟමනේ යාමට දෙමාපියන් තීරණය කර තිබෙනවා.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද කඳුපළාත පදිංචිව සිටි විසිහත් හැවිරිදි කේ.ඒ සජිත් මධුෂාන් කුලතුංග ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

2013 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයෙන් උපාධිය සමත් වී ඇති ඔහු සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්​ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ පසුගිය 2019 ඔක්තෝබර් මාසයේයි.

එම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර පසුගිය 15 වන දා සජිත් මධුෂාන් හදිසියේ මියගොස් ඇති පුවත ඔහුගේ ඥාතීන්ට සැලවී ඇති අතර එම මරණයට හේතුව ඔවුන් කිසිවෙක් නොදනී .

මියගිය සජිත්ගේ දේහය ලංකාවට ගෙන ඒමට රුපියල් ලක්‍ෂ අටක් පමණ වැයවන බවත් මේ මොහොතේ සජිත්ගේ මාපියන්ට එවැනි මුදලක් කිසිසේත්ම සොයා ගැනීමට නොහැකි බවත් ඥාතීහු පවසනවා.

එබැවින් සජිත්ගේ මෙම හදිසි මරණයට හේතුව සොයා එම දේහය ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහුගේ ඥාතීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එය මේ වනතෙක් ඉටු වී නැති බවයි වාර්තා වන්නේ.

මෙම දේහය ලංකාවට ගෙන්වීමට රුපියල් ලක්‍ෂ පහක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදීමට කැමැත්ත පළ කළ නමුත් පසුගිය 21 වන දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් සජිත්ගේ ඥාතියෙකුට දුරකථනයෙන් අමතා කියා ඇත්තේ එම මුදල ලබාදීමට නොහැකි බවයි.

“කඳුපළාත කියන අපේ ගම තියෙන්නේ ගොඩක් දුෂ්කර කඳුකර ප්‍රදේශයක. මේ ගමෙන් කවුරුත් වැඩිදුර ඉගෙන ගන්න පිටරටකට ගිහින් නැහැ. සජිත් පුතාගේ හීනය වුණේ පිටරට ගිහින් ඉහළට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරලා එයාගේ අම්ම තාත්තා නංගි මල්ලී විතරක් නෙවෙයි මේ කඳුපළාත ගම්මානේ හැමෝටම උදව් කරන්න.

එහෙම ගිය දරුවා තමයි මේ හදිස්සියෙම මිය ගිහින් කියලා ආරංචි වුණේ. පහුගිය 16 වෙනිදා සජිත් එක්ක ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ලංකාවේ දරුවෙක් ගෙදරට කෝල් කරලා කියලා තියෙනවා සජිත් නැති උනා කියලා. එච්චරයි අපි දන්නේ. දරුවා මියගියේ කවදද කොහොමද කොතැනද කියලා අපි කවුරුත් තාම දන්නේ නැහැ.

සජිත් මියගිහින් කියලා දැනගත්ත ගමන් අපි ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහින් මේ ගැන කීවා. විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්තයත් මුණ ගැහුණා. හැමෝම කීවේ මේ ගැන හැකි ඉක්මනින් හොයලා බලලා අවශ්‍ය පියවර ගන්නවා කියලා.

සජිත්ගේ දේහය ලංකාවට ගේන්න රුපියල් ලක්‍ෂ අටක් වියදම් වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්‍ෂ පහක් දෙන්නම් කීවා. ඉතිරි මුදල අපිට හොයාගන්න කීවා. නමුත් ගිය 21 වෙනිදා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ ලේකම් කියලා කෙනෙක් අපිට කතා කරලා කීවා අපිට මේ වෙලාවේ රුපියල් ලක්‍ෂ පහක් දෙන්න අමාරුයි කියලා. ආණ්ඩුවට මුදල් නැහැ කියලා කීවා.

ඒ කතාවත් එක්ක අපි අන්ත අසරණ උනා. අපේ දරුවා මැරුණ හේතුව දන්නෙත් නැහැ. අඩුම තරමින් ඒ මැරිච්ච දරුවගේ දේහය ලංකාවට ගෙන්න ගන්න විදිහකුත් නැහැ. අපිට තේරෙන්නේ නැහැ ඇයි ආණ්ඩුව අහිංසක අපිට මෙහෙම කරන්නේ කියලා. හැම ආණ්ඩුවක්ම මැති ඇමතිවරුන්ට සලකනවා. එයාලට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් පිටරට ගිහින් බෙහෙත් ගන්න මුදල් කෝටි ගණන් වියදම් කරනවා. ඒත් දුප්පත් ජනතාව දිහා බලන්නේ නැහැ.

ගිය ඔක්තෝබර් මාසේ සජිත් පුතාට රට යන්න ලක්‍ෂ පණහක් විතර වියදම් උනා. ඒ මුදල හොයන්න එයාගේ අම්මයි තාත්තයි නොසෑහෙන්න වද වින්දා. ගේ දොර ඉඩකඩම් හරකා බාන විතරක් නෙවෙයි අත කනකරත් උගස් තියලා හතර අතේ ණය වෙලා තමයි මුදල් එකතු කර ගත්තේ.

ඒ හින්දා දැන් සජිත්ගේ අම්මයි තාත්තයි ඉන්නේ ගොඩක් අසරණ තත්ත්වෙක. දරුවගේ දේහය ලංකාවට ගේන්න රුපියල් ලක්‍ෂ අටක් තියා ඇත්තටම කියනව නම් එදා වේල කන්න බොන්න වත් නැති තත්ත්වයක් තමයි මේ ගෙදර තියෙන්නේ. සජිත්ගේ නංගිත් මේ සැරේ විශ්ව විද්‍යාලෙට තේරිලා ඉන්නේ. බාල මල්ලි තාම පාසල් යනවා.” යනුවෙන් නෑදෑයන් පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements