ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල සටනක් ගෙනගිය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.
එහිදී උන් වහන්සේ ඉල්ලා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂුන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිළියන්ට, රූ රැජිනියන්ට, ගායක, ගායික්වන්ට, නිවේදකයන්ට, තැබෑරුම්කරුවන්ට, මත් ජාවාරම්කාරයන් නාමයෝජනා ලබාදීමෙන් වළකින ලෙසටයි.
කෙසේ වෙතත් මෙම මාතෘකාව මුල්කරගෙන මේ වන විටත් ආණ්ඩුව ඇතුළේ කිසියම් මත ගැටුමක් ඇතිව තිබෙන අතර ‘වියත් මග’ කණ්ඩායම සහ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් එළිපිටම ප්‍රතිවිරෝධී අදහස් ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වනවා.
මාධ්‍ය වාර්තා පළ කර තිබුණේ ගෝඨාභයට සහාය දැක්වූ වියත්මග සංවිධානය තුළ සිටින උගත්, බුද්ධිමත් වෘත්තිකයන් සඳහා රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම කිසියම් ප්‍රතිශතයක් නාමයෝජනා වශයෙන් ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවයි.
ඒ අනුව දැනටමත් වියත් මග සංවිධානය නියෝජනය කළ බොහෝ දෙනකු විවිධ දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ වියත්මග නියෝජනය කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ තමන් ඇතුළු ඇතැම් වියත් මගේ නියෝජිතයන්ට පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් බාධා එල්ලවෙමින් පවතින බවයි.
තමන් ඇතුළු වියත් මගේ පිරිසට නාමයෝජනා නොදෙන ලෙසට ඇතැමුන් බලපෑම් කරමින් සිටින බවද ජයසුමන මහතා එහිදී සඳහන් කර තිබුණා.
මේ බව තහවුරු කරමින් පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ දැනටමත් කළුතර දිස්ත්‍රික්කය තුළ නාමයෝජනා ලබාදීම සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන විශාල පිරිසක් සිටින බවත්, ඒ අනුව බොහෝදුරට වියත්මග නියෝජනය කරන පිරිසට නාමයෝජනා ලබාදීමට නොහැකි වනු ඇති බවයි.
බොහෝදුරට එම තත්ත්වය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට පැමිණීමෙන් පසුව විසඳාලනු ඇති බවයි පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ.

