Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සුභ නව වසරක් වේවා!
2021 නව වසරේ ලග්න පලාපල - දිනමිණ

2021 ජනවාරි මස පළමු වන සිකුරාදා දින රාත්‍රී 12ට හෙවත් පසුදින සෙනසුරාදාට එළි ‍ෙවන්න අලුයම 00.00 නව සම්මත ඔරලෝසු වේලාවට අනුව 2021 නව වසර උදා විය.


නව වසර උදා වන මොහොතේ පංච පක්ෂියාම කාලයට අනුව ශ්‍රී ලංකාවට අයත් ඉ, කාර පක්ෂියාගේ පූර්ණ භෝජන ඵලයෙන් යුතුව බුද්ධියට අධිපති බුධ හිමි කන්‍යා රැසින් 2021 නව වසර විය.

කන්‍යා ලග්නය අධිපති බුධ ධනු රාශිගතව දොළොස් වැන්න අධිපති රවි සමඟ සිව්වැන්නේ ද කටක රාශිය අධිපති සඳු අයස්ථානගතව ස්වක්ෂේත්‍ර භාවයෙන් ද, අඟහරු මේෂ රාශිගතව ස්වක්ෂේත්‍ර සෙනසුරු මකර රාශිගතව සවක්ෂේත්‍රව ද, බ්‍රහස්පති සෙනසුරු සමඟ සංයෝගව මකර රාශිගතව නීචභංගව ද, සිකුරු වෘශ්චික රාශිගතව ද වෘෂභ සහ වෘශ්චික රාශිගත වෙමින් රාහු කේතු උච්චව ද, ගෝචරව ගත කරනු ලබන අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවට අයත් කුම්භ ලග්නය අධිපති සෙනසුරු මකර රැසෙහි සවක්ෂේත්‍ර වුවද ව්‍යසන ස්ථානයේ මෙරටට ලග්න ඒරාෂ්ටකයකින් යුතුව ද ලංකා කේන්දරයෙන් සඳු ස්වක්ෂේත්‍රව අයස්ථානගත වීම හා අඟහරු ග්‍රහයා සමඟ ග්‍රහයන් තිදෙනකු වසර ආරම්භයේදීම සවක්ෂේත්‍ර බවින් යුතු වීම ද වසර දහඅටකට පසු මායා ග්‍රහයින් වන රාහු කේතු උච්ච වීම ද විශේෂයෙන් සැලකිය යුතු ග්‍රහ ගෝචර අවස්ථාවන් ලෙස සැලැකිය හැකිය.

වසර ආරම්භයේදීම ලග්නාධිපති බුධ ජනවාරි මස පස්වැනි දින රාත්‍රී 8.54ට ශනි හිමි මකර රාශිගතව ශනි ගුරු සමඟ සංයෝගවී ත්‍රීග්‍රහ යෝගයක් බල පැවැත්වේ.

සාමාන්‍යයෙන් එක රාශියක බ්‍රහස්පති ග්‍රහයා වසරක් ගත කරයි. එහෙත් මෙවර ඒ සම්මතයට පටහැනිව යමින් 2020 ඔක්තෝම්බර් මස 21 වන දින මකර රාශිගතව 2021 අප්‍රේල් මස 6වන දින රාත්‍රී 10.45ට කුම්භරාශිගත වේ.ජුනි මස 20 වැනි දින දක්වා කුම්භ රැසෙහි සිට එදින නැවත වක්‍ර ගමන ආරම්භ කර සැප්තැම්බර් 14 දින මකර රාශිගත වේ.

මේ අනුව මාස 6කට අධික කාලයක් තම සම්මත ගමන් මඟ වෙනස් කිරීම බ්‍රහස්පතිගෙන් හිමි සුබඵල දුර්වල කිරීමකි. මේ අතර සෙනසුරු මැයි මස 23 දින පෙරවරු 09 තත්පර 40ට වක්‍ර භාවයට පත්ව වසරේ ඉදිරි මාස 7ක කාලය වක්‍ර ගමනේ නියුතුව ඇත.

එසේම මෙම වසරේ පූර්ණ සූර්ය ග්‍රහණයක් සහිත වලයාකාර සූර්ය ග්‍රහණයක් හා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සහිත පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ද වශයෙන් ග්‍රහණ හතරක් සිදු වීමට ඇත.

එසේම වසරේ ජය අංකය ශ්‍රී සුභ මංගල කරුණුවලට අයත් අංක 71, 2021 නව වසරට අයත් වේ.

මේ අනුව වසරේ පවතින ග්‍රහචාරය හා ග්‍රහ ගෝචර ගමන් අනුව කලාතුරකින් උදාවන මිශ්‍රඵල වසරක් ලෙස 2021 වසර සඳහන් කළ හැකිය.

ලෝකායන කේන්දරයට අනුව ගුරු ශනි මකර රාශිගතව නීච භංගවීම ලෝකයේ බලවතුනට මෙන්ම බලවත් රාජ්‍යයන්හි ආර්ථික තත්ත්වයට හා පරිපාලනමය කටයුතුවලට බ්‍රහස්පති නීච වීම වැදගත් කාර්යයන්හි අවංක සේවයෙහි නියුතු වුවනට නොවැදගත් වනු ඇත.

ලෝකය බොරුවට මුළාවන්නා සේම බොරුව ලෝකය ඉදිරියේ මුළා වී සත්‍ය අසත්‍ය බවට පත්වී දියලබු කැට යට යමින් තිරුවානාගල් ජලය මත පාවෙන්නාක් මෙන් අධර්මයම ලෝකයේ රජ කරනු ඇත.

සොබාදහමේ බලවත් කැලඹීම් කිපීම් තුළින් ඉතා දරුණු විෂම වැසි, ගංවතුර සුළි සුළං, ජල ගැලීම්, කඳු කඩා වැටීම්, ගිනි කඳු පිපිරීම්, ගුවන් හා නාවික අනතුරු, යුද ගැටීම්, සූර්ය චන්ද්‍ර දිව්‍යරාජයින්ගේ කිපීම් මත අති බිහිසුණු වායු කම්පන, භූමි කම්පන සහ මුහුදු කම්පන මෙන්ම හඳුනා ගැනීමට නොහැකි රෝගාබාධ බල පැවැත්වීමට හේතු වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් අතකට හැරෙමින් රජය මඟින් රටේ සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව සිදු කිරීමට කටයුතු කළ ද ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ දුෂ්කරතා පැන නැඟීමට හේතු වන අතර ආරම්භ කරන කටයුතු බො‍හෝ විට අතරමඟ අඩාළ වීමට හේතු වනු ඇත.

රටේ භව භෝග සම්පත් බහුල වශයෙන් වර්ධනය වීමට හේතු වුව ද ස්වභාවික විපත් හා කාලීන වශයෙන් ඇති වන කෘමි උවදුරු හේතුවෙන් අනපේක්ෂිතව අලාභ සිදු වේ. එහෙත් බො‍හෝ කෘෂිකාර්මික කටයුතු පලදැරීම නිසා එම අංශයන්හි ආර්ථිකය යම් තරමකින් හෝ සතුටුදායක වේ.


මේෂ - යුග දිවියේ සතුට

මේෂ ලග්නය හිමි ලග්නාධිපති අඟහරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව පස්වැන්නාධිපති රවි සහ 3,6 අධිපති බුධ සමඟ 9 වැන්නේද ගුරු 6 සෙනසුරු දහ වැන්නේද ගෝචරව යෙදෙමින් ආරම්භ වන මෙම වසර ඔබට මධ්‍යස්ථ වසරක් ලෙස දැක්විය හැකිය.

රැකීරක්ෂා කටයුතු

රැකියා කටයුතු සඳහා සතුරු උවදුරු බාධක සහිත කාලයකි. ලග්නාධිපති අඟහරුගේ ස්වක්ෂේත්‍ර භාවය මත කුමන බාධක පැමිණිය ද ඒවා මැඬගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇත.

ධනය

අප්‍රේල් මස 6 දින සිට සැප්තැම්බර් අතර කාලය ලැබීම් අතින් යහපත් වීමට හේතු වුවද ලැබෙන ධනය අනපේක්ෂිතව වියදම් වීමට කරුණු සැලසේ.

ගෘහ ජීවිතය

උපතින් බ්‍රහස්පති බලවත්ව සිටින අයට අප්‍රේල් දින සිට සැප්තැම්බර් දක්වා කාලය යහපත්ව ද යුගදිවිය සතුට ප්‍රීතිය දරුවන්ගේ කටයුතුවලින් සතුටු විය හැකි යහපත් ප්‍රතිඵල තරග විභාග වැනි අධ්‍යාපන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලැබීමට හේතුවෙනු ඇත.

අය. 11 වැය 5 ශුභ වර්ණ රතු නිල්
ශුභ මැණික් - රතු මැණික්, රතු කොරල්


වෘෂභ - රැකියාවලට බාධා

සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සමඟ කේතු 7 වැන්නේ ද රවි බුධ අට වැන්නේ සහ ශනි ගුරු දහවැන්නේ ද ගමන් කරනු ලබයි. ඒ අනුව මෙම වසර ඔබට මිශ්‍රඵල වසරකි.

රැකී රක්ෂා

රාහු ලග්නගතව උච්චව සප්තමව යෙදෙන ලග්නාධිපති සිකුරු 7 වැන්නේ, කේතු සමඟ සිටීම දහ වැන්න අධිපති සෙනසුරු සමඟ 5 වැන්නේ යෙදීම රැකී රක්ෂා කටයුතු කරදර බාධා අවහිරතා සහිතය. ලැබීමට නියමිත රැකියා කටයුතුවලට බාධා පැමිණේ.

ධනය

08 සහ 11 අධිපති බ්‍රහස්පති ශනි සමඟ නීච භංගව සිටීම ආත්මාර්ථකාමී ලෙස වැරදි ක්‍රියා තුළින් ධනය සෙවීමට හේතු විය හැකිය.

ගෘහ ජීවිතය

වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු කේතු සමඟ සංයෝගව හත්වැන්නේ ගෝචරය. ස්ත්‍රී පුරුෂ සබඳතා අවුල් සහගත තත්ත්වයට පත් වීම නිසා පවුලේ සමඟියට බාධා ඇති වීමට හේතු විය හැකිය. දුවා දරුවන්ගේ රැකියා කටයුතු අඩාළ වේ. අධ්‍යාපන කටයුතුවල නියුතු වයසේ සිටින අයට බාධා මධ්‍යයේ කටයුතු කර ගැනීමට හේතු වේ.

අය 5 වැය 8 ශුභ වර්ණය - ක්‍රීම්, අයිවරි
ශුභ මැණික-වයිරෝඩි


මිථුන - චිත්ත පීඩා

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ රවි සමඟ හත් වැන්නේ ද අයස්ථානාධිපති බුධ අයස්ථානයේ ද, සඳු දෙවැන්නේ කටක රාශියේ උච්චව ද ශනි ගුරු අෂ්ටම ඒරාෂ්ටකය සහිත අටවැන්නේ ද කේතු සිකුරු හයවැන්න රෝගස්ථානගතව ගමන් කරනු ලබයි.

රැකීරක්ෂා කටයුතු

සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයකින් යුතුව කාලය ගෙවීම, අධ්‍යාපන කටයුතු මෙන්ම රැකී රක්ෂා කටයුතු විවිධ බාධා මධ්‍යයේ කර ගෙන යෑමට සිදු විය හැකිය.

ධනය

ව්‍යාපාර ආ‍යෝජන අංශයන්හි නියුතුවූවන්ට බලවත් පාඩු ලැබීමට හේතු වේ.

ගෘහ ජීවිතය.

තරමක අපලකාරී කාලයකි. කායික මානසික රෝග හා නිතර චිත්ත පීඩා ආදිය ඇති වීමට හේතු වේ. දරුවන්ගේ කටයුතු කෙරේ කලකිරීම් ඇතිවේ. නිකරුණේ අනුන් කරන වැරදිවලට අසුවී නීති ප්‍රශ්නවලට පවා පැටලීමට හේතුවන කාලයක් බැවින් ඉතා ප්‍රවේසම් වන්න.

අය 04 වැය 05 ශුභ වර්ණ-කොළ, කහ
ශුභ මැණික්-පච්ච


කටක - රැකියා උසස්වීම්

කටක ලග්න හිමියන් ලග්නාධිපති සඳු ග්‍රහයා ලග්නගතව ස්වක්ෂේත්‍රව යෙදී සිටියදී වසර ආරම්භ වේ. අඟහරු ස්වක්ෂේත්‍රව රුචක යෝග බලයෙන් යුතුව දශවැන්නේ ද රවි බුධ පස්වැන්නේ සහ ගුරු ශනි හත් වැනි භාවයේ ද ශුක්‍ර කේතු හය භාව ගතව සිටියදී ආරම්භ වන කටක රාශි හිමියනට පොදුවේ යහපත් වසරකි.

රැකී රක්ෂා කටයුතු

රැකියා අපේක්ෂිත අයට රැකියා ලැබීම ද රැකියාවල නියුතු අයට ඒවා යහපත්ව සහයෝගයෙන් කරගෙන යෑමේ අවස්ථාව හා රැකියාවල උසස්වීම් හා විවිධ තනතුරු අපේක්ෂිත අයට ඒ සඳහා යෙදෙන බාධක ඉවත් වී තම අපේක්ෂාවන් බොහෝ දුරට ඉටු කර ගත හැකි වසරකි.

ධනය

ව්‍යාපාරවල නියුතු අයට ලාභ ලැබේ. විවිධ කටයුතු තුළින් තම කටයුතු සාර්ථක කර ගැනීමට අවකාශ සැලසේ. හදිසි ධන ලාභ ලැබීමට හේතු වේ.

ගෘහ ජිවිතය

ගෘහ ජීවිතය සාර්ථක වේ. පවුලේ සමඟිය සමාදානය සතුට ඇති වේ. යානවාහන මිල දී ගැනීමට අපේක්ෂා කරන අයට ඒවාට අවකාශ සැලසිය හැකිය. හිතට කයට සතුට සැනසීම ලැබෙන කාලයකි. ආගම දහමට ළැදිව ධර්මානුකූල දිවි පෙවෙතක් ගත කිරීමට හේතු වන අතර දරුවන්ගේ දියුණුව, සහිත කාලයකි. සුදුසු වයසේ අයට යහපත් මංගල යෝග සහිතය.

අය 5 වැය 2 ශුභවර්ණ සුදු, ක්‍රීම්
ශුභ මැණික්- මුතු

සිංහ- සැප සම්පත්

රාජ්‍යකාරක රවි හිමි සිංහ ලග්නාධිපති රවි සමඟ බුධ සංයෝගව පස්වැන්නේද ගුරු ශනි 6 වැන්න ගතවද අඟහරු නවවැන්නේද රාහු 10 , සඳු 12 කේතු සිකුරු සිව්වැනි භාවයේ ගෝචරව සිටියදී නව වසර උදාවිය.

රැකී රැක්ෂා කටයුතු

සිංහ ලග්න හිමියන්ගේ රැකියා කටයුතුවලට විටින් විට බාධා අවහිරතා ඇති වේ. එහෙත් බාධා මධ්‍යයේ වුවද සාර්ථකව කරගෙන යා හැකිය. උපතින් රවි බුධ මහා දසා අතුරු දසා අතුරින් උපත ලද අයගේ අපේක්ෂාවන් ඉටු කර ගත හැකිය. රැකියා අහිමි අයට නව රැකියා අවස්ථා උදා වනු ඇත. එමෙන්ම ස්වාමිපක්ෂයට තම සේවකයන් කෙරේ නිතර බාධා කරදර අවහිරතා යෙදේ.

ධනය

ලග්නාධිපති රවි හා බුධ සංයෝගය විද්‍යා ස්ථානයේ ත්‍රිකෝණගත වීම යහපත්ය. මෙහිදී ධනස්ථානාධිපති අයස්ථානාධිපති ලග්නාධිපති සමඟ ත්‍රිකෝණගතව ගෝචරව යෙදීම හා භාග්‍යස්ථානාධිපති භාග්‍යස්ථානයේම ස්වක්ෂේත්‍ර වීම මත පෙර කුසල කර්ම ප්‍රතිලාභ දෙමින් සැලකිය යුතු අයුරින් ධනලාභ ලැබීමේ වාසනාව ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය තුළ අපේක්ෂිත සැප සම්පත් ලැබීමට හේතු වේ. විනෝදයෙන්, සතුටින් කාලය ගත කළ හැකිය. නව නිවෙස්වලට යෑම හෝ ස්ථාන මාරුවීම් වැනි අවස්ථාවන් යෙදිය හැකිය.

අය 08, වැය 14 ශුභ වර්ණය-රතු
ශුභ මැණික්-පද්මරාග

කන්‍යා - හදිසි ධන ලාභ

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති රවි බුධ සමඟ සිව්වැන්නේ ගෝචරවීම යහපත්ය. ඒ අතර ගුරු ශනි පස්වැනි භාවයේ ත්‍රිකෝණගතව ද අඟහරු 8 රාහු 9 සඳු 11 කේතු සිකුරු තෙවැනි භාව ගතව ඇත.

රැකියාව

රැකියා කටයුතු යහපත්ව කරගෙන යා හැකි වන අතර විදේශ රැකියා අපේක්ෂා කරන අයට හා රැකියා පිළිබඳ උසස්වීම් තනතුරු ආදිය පිළිබඳ අපේක්ෂාවන් ගුරු, බුධ, ශනි මහ දශා අතුරු දශා ගත කරන අයට ඒවා සාර්ථක කර ගත හැකිය.

ධනය

වර්ෂාරම්භයේ අයස්ථානාධිපති සඳු අයස්ථානගතව සවක්ෂේත්‍ර භාවයෙන් හා ධනස්ථානාධිපති සිකුරු වික්‍රමස්ථානගතව ද ගෝචරය. ලැබීම් අතින් යහපත් වේ. හදිසි ධන ලාභ, විදෙස් ආයෝජන ආදියෙන් ද භුමියෙන් ලැබෙන වස්තු, කාර්මික, තාක්ෂණික අංශ සහ ඖෂධ සම්බන්ධ කටයුතුවල නියැළි අයට ද විශේෂ ධනෝපායන මාර්ග විවරවීමට අවකාශ ඇත.

ගෘහ ජීවිතය

තම ධනය, බලය උපයෝගි කර අකටයුතු ක්‍රියාවනට යොමු වීමෙන් පවුලේ ප්‍රශ්න ආරවුල් ගැටලු නීති ප්‍රශ්න වැනි දේට පැටලිය හැකිය. නොයෙක් ආකාරයේ ක්‍රියාවන් තුළින් මානසික පීඩා ඇති වීමට හේතු වේ.

අය 11 වැය 5 ශුභ-වර්ණය කොළ
ශුභ මැණික්-පච්ච ගෝමේද

තුලා- පවුලේ සමගිය

තුලා ලග්නයෙන් උපන් ඔබ ලග්නාධිපති සිකුරු දෙවැනි භාවගතව කේතු සමඟ සංයෝගව ද තෙවැන්නේ රවි බුධ සිව්වැන්නේ ගුරු ශනි හත්වැන්නේ අඟහරු සඳු කර්මස්ථානගතව ද ගෝචරව යෙදී ඇති මෙම වසර ඔබට සමඵල වසරක් ලෙස දැක්විය හැකිය.

රැකී රක්ෂා කටයුතු

කර්මස්ථානාධිපති සඳු 10 වැන්නේ සිටීම රැකියා කටයුතුවලට යහපත්ය. එහෙත් 4, 10, ශනි ගුරු හා සඳු සප්තමව යෙදීම මත තමා සමඟ එකට කටයුතු කරන අයගෙන් නිරන්තරව කරදර බාධා කෙනෙහිලිකම් සිදු වෙයි.

ධනය

ලග්නාධිපති සිකුරු ධනස්ථානගතවීම හා කර්මස්ථානගත බලවත්ව සඳුගේ පිහිටීම මත එදිනෙදා කටයුතු අවහිරතාවයකින් තොරව කරගෙන යෑමට සමත්ය. ධනය ලැබීමට හේතු වේ.

ගෘහ ජීවිතය

තම රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යා හැකිය. ගෘහ ජීවිතය යහපත් වේ. පවුලේ සාමය සමඟියට හේතු වේ. දූ දරු ඥාති හිතවතුන් අතර ප්‍රීතිමත් උත්සව අවස්ථා දරුවන්ගේ අධ්‍යාපන තරග විභාග ආදියෙහි යහපත් ප්‍රතිඵල සහිත පොදුවේ ගෘහ ජීවිතය කර්මාන්ත කටයුතු ව්‍යාපාර ආදියෙහි විශේෂ ප්‍රගතියක් ඇති වීමට හේතු වේ.

අය 05 වැය 08 ශුභ වර්ණ-සුදු , ක්‍රීම්, අයිවරි වර්ණ
ශුභ මැණික් - දියමන්ති, සුදු මැණික්


වෘශ්චික - මංගල යෝජනා

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති 6 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් හා සිකුරු කේතු ලග්නගතව ද, රවි බුධ දෙවැන්නේ ගුරු ශනි තෙවැන්නේ ද, සඳු නව වැන්නේ සහ රාහු හත්වැන්නේ ගෝචරව නියුතුව සිටිති.

රැකීරක්ෂා කටයුතු

රැකී රක්ෂා කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඉතා යහපත් කාල වකවානුවකි. තම අපේක්ෂාවනට අනුකූලව ඉන් සාර්ථක ප්‍රතිඵල අත් විය හැකිය.

ධනය

වෙළෙඳ ව්‍යාපාර හෝ වෙනත් කුමන හෝ ක්‍රමයකින් ධනෝපායන මාර්ග විවෘත වේ. හදිසි ධන ලාභ සහිත කාලයකි. භූමිය සම්බන්ධ වස්තු ලැබිය හැකිය. උපතින් සෙනසුරු බලවත්ව වර්තමානයේ සෙනසුරු මහ දශාව ගෙවන අයට මැණික් පතල් කැණීම් ආදියෙන් විශේෂ ධන ලාභ ලැබීමට හේතු විය හැකිය.

ගෘහ ජීවිතය

පවුලේ සමඟිය, සාමය ඇති වීමට හේතු වේ. විවාහ වන වයසේ සිටින අයට යහපත් මංගල යෝජනා සාර්ථක වන වසරකි නව යාන වාහන හෝ ගෘහාරම්භයට අවකාශ සැලසිය හැකිය.

අය 11 වැය 14 ශුභ - වර්ණ රතු
ශුභ මැණික්-රතු මැණික් රතු කොරල්

ධනු- විදෙස් රැකියා

ධනු ලග්න හිමියාගේ ලග්නාධිපති ගුරු ශනි හිමි මකර රාශි ශනි සමඟ සංයෝග වී නීච භංගව ද, රවි බුධ ලග්නගතව ද, කුජ පස්වැනි භාවයේ ද රාහු හයවැනි භාව ගතව හා සිකුරු කේතු ව්‍යසන ස්ථාන ගතව 12 වැන්නේ ද ගෝචරව යෙදී ඇති මෙම වසර ධනු ලග්න හිමියාට සුබදායී වසරක් ලෙස දැක්විය හැකිය.

රැකියාව

බොහෝ විට රැකියාව හා සම්බන්ධ කටයුතු තුළින් දියුණුවට හේතු වේ. රැකියා අපේකෂිත අයට තම සුදුසුකම් මත සුදුසුම ස්ථානය හිමි වීමට අවකාශ ඇත. රැකියා සඳහා යෙදෙන විවිධ පරීක්ෂණ අතුරින් උසස් විදෙස් රැකියාවලට පවා යොමු විය හැකිය.

ධනය

මිල මුදල් ලැබීම් අතින් සතුටුදායක වන අතර ඒ සඳහා විවිධ උපක්‍රමශීලි පිළිවෙත් පවා අනුගමනය කිරිමට පෙලඹෙනු ඇත. ඒවායින් බො‍හෝ විට සාර්ථක ප්‍රතිඵල අත්වීමට හේතු වේ.

ගෘහ ජීවිතය

යහපත්ව තම පවුලේ සාමාජිකයන් මෙන්ම අසල්වැසි ඥාති මිත්‍ර හිතවතුන් සමඟ ද, සුහදශීලීව කටයුතු කරයි. දූ පුතුන්ගේ දක්ෂතා හා විවිධ කටයුතු වෙනුවෙන් සතුට ඇති වීම ආදී යහපත් ප්‍රතිඵල සහිත වසරකි.

අය 8, වැය 5 ශුභ වර්ණ - කහ
ශුභ මැණික් - පුෂ්පරාග

මකර - මුදල් ලැබීම්

මකර ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි ස්වක්ෂේත්‍රව ගුරු සමඟ ලග්නගතව ද සඳු හත් වැන්නේ ද සිකුරු කේතු 11 වැන්නේ ද රවි බුධ එකොළොස් වැන්නේ ද රාහු පස්වැන්නේ ගෝචරව සිටියදී නව වසර ආරම්භ වේ.

රැකියා කටයුතු

ඔබ ලග්නයේ කර්මස්ථානාධිපති එකොළොස් වන භාවයේ කේතු සමඟ යෙදීම ලග්නාධිපති ගුරු සමඟ ස්වක්ෂේත්‍රව නියුතුවීම රැකියා කටයුතුවලට යම් යම් බාධා කරදර අවහිරතා ඇති කිරීමට‍ හේතු වේ. එහෙත් කුමන කරදර ඇති වුවද ආර්ථිකය ඒකාකාරීව පවත්වා ගැනීමට අවකාශ ඇත.

ධනය

මුදල් ලැබීම් අතින් යහපත්ය. විවිධ උපක්‍රමිකව ධනෝපායන ක්‍රම අනුගමනය කරයි. ඒ ඒ අවස්ථාවට අනුකූලව ධනය ඉපයීමේ ක්‍රම අනුගමනය කරමින් තම කටයුතු සාර්ථකව කර ගනු ලබයි.

ගෘහ ජීවිතය

තරමක කරදර සහිතය. තමාටම ආවේණික හුරු පුරුදු ක්‍රම අනුගමනය කරමින් පවුලේ සමඟිය, සමාදානය පවත්වාගෙන යෑමට ක්‍රියා කරනු ලබයි. යුග දිවිය තුළ ප්‍රශ්න ගැටීම් නිතර නිතර ඇති විය හැකිය. මංගල කටයුතු අපේක්ෂිත අයට දැඩි මානසික පීඩනවලට අවකාශ සැලසේ. ජුනි මාසයෙන් පසු ක්‍රමයෙන් මඳ සැනසිල්ලක් ලැබෙනු ඇත.

අය 02 වැය 08 ශුභ වර්ණ - කළු
ශුභ මැණික් - නිල් මැණික්


කුම්භ - ආර්ථික අපහසුතා

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ගුරු සමඟ දොළොස්වැනි භාව ගතව ව්‍යසන ස්ථානයේ සිට ලග්න ඒරාෂ්ටකයක් උදාව ඇත. අඟහරු තෙවැන්න රාහු හා සඳු 6 සිකුරු කේතු 10 රවි බුධ 11 ගෝචරව නව වසර උදා වේ.

රැකියා කටයුතු

බො‍හෝ විට රැකියා කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් ඇති විය හැක. ස්ථාන මාරු ‍හෝ රැකියාවන් වෙනස් වීමට ඉඩ ඇත. එහෙත් ඇති වන සියලු බාධක මැඬගෙන අවස්ථානුකූලව තැනට ඔබින ලෙස ක්‍රියා කරමින් ඇති වන ගැටලුවලට මුහුණ දී ක්‍රියා කළ හොත් අප්‍රේල් 6 දිනෙන් පසු තරමක සැනසිලිදායක බවක් ලැබීමට හේතු වේ.

ධනය

මිල මුදල් ලැබීම් අතින් තරමක් දුරට කරදර බාධක සහිතය. ණය තුරුස් වීමට සිදු වේ. ගත් ණය ගෙවා ගැනීම දුෂ්කර වේ. ආර්ථික අපහසුතා අධික වේ. යහපත් ග්‍රහ තත්ත්වයන් ඇති අයට රැකියා උසස්වීම් හදිසි ධන ලාබ තනතුරු නිලතල ලැබීමට පවා හේතු වේ.

ගෘහ ජීවිතය

ගුරු, සිකුරු, රවි කුජ මහ දශා අතුරු දශා ගතකරන්නන්ට තම අපේක්ෂාවන් බොහෝ දුරට සාර්ථක කර ගත හැකිය. යුගදිවිය සාමයෙන් සතුටින් ගත කළ හැකිය. අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට බාධා අවහිරතා ඇති කරනු ලබයි. ශනි, රාහු, කේතු, බුධ දශා විදශාවනට අසුබ විපාක ප්‍රතිඵල අධිකය.

අය 02, වැය 08 ශුභ වර්ණ-රතු නිල්
ශුභ මැණික් - කාකනිල්


මීන - විභාග ජය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු සෙනසුරු සමඟ අයස්ථානගතව ඇත. දෙවැන්නේ කුජ තුන්වැන්නේ රාහු, සඳු පස්වැන්නේ ද, සිකුරු කේතු නවවැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, ගෝචරව සිටියදී ආරම්භ වන මෙම වසර ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

රැකියා කටයුතු

තම වෘත්තිමය කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යා හැකියි. ආර්ථික තත්ත්වය යහපත් වේ. අපේක්ෂිත තරග විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණය කළ හැකිය. රැකියාවේ උසස්වීම් ලැබේ.

ධනය

ලග්නාධිපති අයස්ථාන ගත කරන අයට අප්‍රේල් 6 දින දක්වා ලැබීම් අතින් යහපත්ය. විදේශ සම්බන්ධ මුදල් අ‍යෝජකයිනට සුවිශේෂී ධන ලාභ, ධන ආයෝජන ව්‍යාපාරවලට සම්බන්ධ වී හදිසි වස්තු සම්පත් ලබා ගත හැකි කාලයකි.

ගෘහ ජීවිතය

සිතේ සතුටට සැනසීමට කරුණු යෙදේ. සතුරු බලවේග අඩපණ වේ. බලාපොරොත්තු වන කටයුතු සාර්ථක කර ගත හැකිය. ගෘහ ජීවිතය වාසනාවන්ත ලෙස ගත කිරීමට ලැබේ. බුධ සිකුරු කුජ මහ දශා අතුරු දශා ගත කරන අයට විශේෂ වාසි සැලසේ. අවුලේ ඥාතීන් අතර සුහදතා වර්ධනය වේ.

අය 08 වැය 05

ශුභ වර්ණ- රතු කහ
ශුභ මැණික් - පුෂ්පරාග, වයිරෝඩි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී වෛද්‍යාචාර්ය
තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ
හිඳගොල්ල, කුරුණෑගල


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook