Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

විජේවීර පන්ති තිබ්බේ අපේ ගෙදර
උවිදුගේ වැඩපිළිවෙළ රට පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ.
ඇඳුම් කිලිටිවෙලා තිබුණොත් අපේ අම්මා හෝදලා දෙනවා

රටපුරා එකවර සිදුකරන සන්නද්ධ ප‍්‍රහාරයකින් පැවැති සමගි පෙරමුණ ආණ්ඩුව පෙරළා දමා සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවීම රෝහණ විජේවීර මහතාගේ සැලසුම වී ඇත. සැලසුමකට සීමා නොවී ක‍්‍රියාවට නඟන ලද එම උත්සාහයට අපේ‍්‍රල් 05 වැනි දාට වසර 50 ක් සම්පූර්ණ විය. සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වන මහින්ද දේශප‍්‍රිය මහතා එම ඓතිහාසික අවස්ථාව සමීපව ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකි. දේශප‍්‍රිය මහතා වසර 50කට වැඩි වූ තම මතකය අවදි කළේ මෙසේය.

ප‍්‍රශ්නය - 1971 අපේ‍්‍රල් 05 වැනිදා කියන්නේ මේ රටේ ඓතිහාසික දිනයක්. එදින මේ රටේ තරුණයන් රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට සන්නද්ධ ප‍්‍රහාරයක් එල්ල කළා. mahinda deshapriya

ඒ දිනය ඔබට මතකද?

පිළිතුර - හොඳට මතකයි. එපමණක් නොවෙයි. 1968, 69 සිට ම එම ව්‍යාපාරය පිළිබඳව හොඳ මතකයක් තිබෙනවා. නමුත් 1977 න් පමණ පසුව ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරකම් පිළිබඳව මට දැනුවත් භාවයක් නැහැ.

ප‍්‍රශ්නය - 1971 අපේ‍්‍රල් 05 වැනි දින ඔබ සිටියේ කුමන ස්ථානයක ද?

පිළිතුර - මම සිටියේ අම්බලන්ගොඩ පෝරඹ ගෙදර.

ප‍්‍රශ්නය - රෝහණ විජේවීර මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් වසර කිහිපයකට පසුව 1965 දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර තිබෙනවා. එම පක්‍ෂය ආරම්භ කිරීමෙන් පසුව විජේවීර මහතා අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් පළමුවෙන්ම ආවේ ඔබගේ පියා වූ ව. පියසේන මහතා හමුවීමට බව පැවසෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු මොනවාද?

පිළිතුර - ඒ කතාව මමත් අහලා තිබෙනවා. නමුත් පළමුවෙන් ම අපේ ගෙදර ආවාද කියන එක මට නිශ්චිතව කියන්න බැහැ. ඔය කතන්දර හොඳට දන්න කෙනකු තමයි අම්බලන්ගොඩ විලේගොඩ ප‍්‍රදේශයේ පදිංචිවී සිටින පියසිරි ගුණරත්න මහතා. ඒ මහතා ලියපු පොතේ සඳහන් කර තිබෙනවා පියසිරි අයියාත්, විජේසේන අයියාත් (සනත් බොරළුකැටිය), ධනෝසිරි සහෝදරයයි, විජේවීර මහතායි සාකච්ඡා කරලා, ඉන් පසුව ඇවිත් අපේ පියා හමුවූ බව.

ඒ පිළිබඳව නම් මට නිශ්චිත මතකයක් නැහැ. නමුත් මට 1968 සිට හොඳට මතකයි විජේවීර මහතා, විජේසේන අයියා, පියසිරි අයියා ඇවිත් අපේ තාත්තා සමඟ සාකච්ඡා කළ බව. ඔවුන් සාකච්ඡා කළේ දේශපාලන ව්‍යාපාරයක් හැදීම පිළිබඳව. අපේ තාත්තා කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වී සිට තිබෙනවා. ඉන් පසුව ශන්මුගදාසන් මහතාගේ නායකත්වයෙන් පැවැති චීන කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධව සිට තිබෙනවා. ඒ කාලයේ කම්කරුවා පුවත්පතත් විකිණීමට කටයුතු කළා. එම දේශපාලන ව්‍යාපාරයෙන් ඉවත් වෙලා අපේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණත් සමඟ කටයුතු කළා කියන එක අපි හොඳට දන්නවා. මොකද අපේ අයියලා දෙදෙනකු සහ අක්කාත් එම ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කළා. ලොකු අයියා නම් තරමක් දුරට තමයි සම්බන්ධ වී කටයුතු කළේ. නමුත් හිච්චි අයියා (සුනන්ද දේශප‍්‍රිය) නම් පූර්ණ කාලීනව සම්බන්ධ වී කටයුතු කළා. එම නිසා එම දේශපාලන ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව හොඳ මතකයක් මට තිබෙනවා.

ප‍්‍රශ්නය - විජේවීර මහතා ඔබගේ පියා හඳුනාගෙන තිබෙන්නේ කෙසේද?

පිළිතුර - විජේසේන අයියා (සනත්) තාත්තාගේ ගෝලයෙක්. තාත්තා ඔහුට පාසලේදී උගන්වා තිබෙනවා. ඔවුන් කොමියුනිස්ට් පක්‍ෂයේ එකට කටයුතු කර තිබෙනවා. පියසිරි අයියාත් කොමියුනිස්ට් පක්‍ෂයේ සිට තිබෙනවා. සමහරවිට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ වැඩ කිරීමේදී විජේවීර මහතාට අපේ පියා හමුවෙන්න ඇති. මගේ පියා සහ විජේවීර මහතා අතර තිබුණේ වසර 20ක පමණ වයස් පරතරයක්. 1965 වනකොට අපේ තාත්තාගේ වයස අවුරුදු 40 යි. 1970 වනකොට අපේ තාත්තාට වයස අවුරුදු 45 යි. ඒ වෙනකොට විජේවීර මහතාගේ වයස අවුරුදු 26 යි. විජේසේන අයියාට අවුරුදු 30 ක් පමණ වෙන්න ඇති. ඔවුන් චීන කොමියුනිස්ට් පක්‍ෂය තුළ එකට වැඩ කරන්න ඇති.

ප‍්‍රශ්නය - විජේවීර මහතා අම්බලන්ගොඩ දේශපාලන සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ ඔබගේ පියා හරහා ද?

පිළිතුර - අපේ තාත්තා හරහා සම්බන්ධකම් කිහිපයක් ගොඩනැෙඟන්න ඇති. කොමියුනිස්ට් පක්‍ෂයේ සිටි සුබසීල කොඩිකාර මහතා සිසිල් චන්‍ද්‍ර මහතා වැනි කිහිපදෙනෙකු තාත්තා හරහා සම්බන්ධ වෙන්න ඇති.

රෝහණ විජේවීර මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී නවාතැන් ගෙන සිට තිබෙන්නේ අම්බලන්ගොඩ මහ පන්සල පාරේ නිවසක. එම ප‍්‍රදේශය කොමියුනිස්ට් පක්‍ෂයේ මූලස්ථානයක්. එම ප‍්‍රදේශය හරහාත් සම්බන්ධකම් ගොඩනැෙඟන්න ඇති. කොහොම සම්බන්ධ වුවත් අලූතෙන් සම්බන්ධ වූ අයට පන්ති තිබ්බේ අපේ ගෙදර. අපි ඒ කාලයේ සිටියේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප‍්‍රදේශයේ නිවසක. ඇල්පිටිය පාරේ අංක. 57 දරන නිවසේ. අපේ ඥාති සහෝදරියක් සිටියා. කුසුමක්කා කියලා. ඇයගේ නිවසෙත් පන්ති තිබ්බා. ඒ කාලයේ අපේ අක්කලා සිටියේ බෝගහවත්ත ප‍්‍රදේශයේ දුම්රිය සිග්නල් කණුව තිබුණු තැන නිවසක. එම නිවසෙත් පන්ති තිබ්බා.

ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ පළකළ පුවත්පත පළකළේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිසිල් චන්‍ද්‍ර මහතාගේ නමින්. එම පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සුබසීල කොඩිකාර මහතා. සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ අමරදාස මහතා.

ප‍්‍රශ්නය- ඔබගේ සහෝදරයකු වූ සුනන්ද දේශප‍්‍රිය මහතාත්, සහෝදරියකුත් ව්‍යාපාරයේ පූර්ණ කාලීනයන් ලෙස සම්බන්ධ වීම ගැන ඔබගේ පියා දැරුවේ මොන වගේ අදහසක් ද?

පිළිතුර - සුනන්ද අයියා සංවිධානයට පූර්ණ කාලීනයකු ලෙස සම්බන්ධ වූයේ 1969 අග හෝ 1970 මුල දී විය යුතුයි. 1968 අග හෝ 1969 අග වෙනකොට සුනන්ද අයියලා සංවිධානයේ ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයන් වෙනකොට මට හිතෙන්නේ තාත්තා සංවිධානයෙන් බැහැර වෙලා තිබුණා. නමුත් හිතවත්කම තිබුණා.

කරුණු තුනක් නිසා තාත්තා සංවිධානයෙන් බැහැර වී තිබුණා. පළමු කාරණය තමයි තරුණයන්ට පමණක් විප්ලවය කරන්න බැහැ යන මතය තාත්තා දැරීම. තාත්තා කිව්වේ රටේ මහජනතාවගේ සහාය ඊට අවශ්‍ය බව තමයි. ඒ වගේම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව සංවිධානය දරපු මතය සමගත් තාත්තා එකඟ වූයේ නැහැ. තාත්තා කොමියුනිස්ට් පක්‍ෂයේ සිටි සමයේදී වතු කම්කරුවන් සමඟ වැඩ කර තිබූ නිසා එම ගැටලූව ඇති වී තිබුණා. පසු කාලීනවත් තාත්තා ඒ පිළිබඳව අප සමඟ කතා කළා. ඊට අමතරව තාත්තා අම්බලන්ගොඩ තිබුණ පබ්ලික් සර්විසස් ක්ලබ් එකේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම පක්‍ෂය පැත්තෙන් මතු වූ කාරණය වී තිබුණා. තාත්තා දිනපතා ම එම ක්ලබ් එකට ගිහින් මිතුරන් සමඟ සතුටු වූවා. නමුත් සංවිධානය විසින් මත්පැන් සහ දුම්පානය කිරීම නතර කර තිබුණා. ව්‍යාපාරය පැත්තෙන් පෙන්නපු කාරණය ඒක තමයි.

එසේ වුවත් තරුණයන් විදියට සුනන්ද අයියලා කැපවීමෙන් කටයුතු කළා. අයියත්, අක්කත් පූර්ණ කාලීනයන් ලෙස සංවිධානයට එක් වෙනකොට අපි සිටියේ බෝගහවත්තේ තිබුණ නිවසේ. පෝරඹ පිහිටි මෙම නිවසට අපි ආවේ 1970 සප්තැම්බර්වල තමයි.

අයියා සහ අක්කා පූර්ණ කාලීනයන් ලෙස සම්බන්ධ වීමෙන් අධ්‍යාපන කටයුතු අඩාල වීම ගැන තාත්තා අසතුටින් සිටියා. නමුත් පූර්ණ කාලීනයන් ලෙස සම්බන්ධ වීමෙන් පසුත් ඔවුන් නිවසට ආවා ගියා. තාත්තාත් සම්බන්ධ වී සිටි දේශපාලන ව්‍යාපාරයට දරුවන් සම්බන්ධ වූ විට ඊට විරුද්ධ වන්නේ කොහොමද?

ප‍්‍රශ්නය - රෝහණ විජේවීරගේ සැලසුම වී තිබෙන්නේ රටපුරා මර්මස්ථානවලට එකවර එල්ල කරන ප‍්‍රහාරයක් මගින් බලය අල්ලා ගැනීම. එබඳු ප‍්‍රහාරයකින් බලය ඇල්ලිය හැකි බව ඔබේ පියා විශ්වාස කළා ද?

පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ පන්ති පහෙන් පස්වැනි පන්තියේදී තමයි ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ. එම පන්තිවලට මමත් සහභාගි වී තිබෙනවා.

මුල් කාලයේදී ඒ ආකාරයට බලය අල්ලන්න පුළුවන් කියලා තාත්තා විශ්වාස කරන්න ඇති. පසුව සංවිධානයෙන් ඉවත්වෙලානේ සිටියේ.

ප‍්‍රශ්නය - තාත්තා දේශපාලන කඳවුරුවලට පවා සහභාගි වී උදේ පාන්දර නැඟිට ව්‍යායාම පවා කරලා තිබෙනවා නේද?

පිළිතුර - 1966 දී පමණ පළමුවෙන් ම අක්මීමන පැවැති කඳවුරේ සභාපති ලෙස කටයුතු කරලා තිබෙන්නේ, සාකච්ඡාව මෙහෙයවල තිබෙන්නේ තාත්තා විසින් තමයි. එම සාකච්ඡාවට සහභාගි වූ වැඩිමහල් ම පුද්ගලයා අපේ තාත්තා. බාලම පුද්ගලයා අපේ අයියා සුනන්ද දේශප‍්‍රිය.

ප‍්‍රශ්නය - 1971 අපේ‍්‍රල් 05 වැනි දාට පෙර අම්බලන්ගොඩ පිරිස සහ විජේවීර මහතා අතර මතභේදයක් ඇති වූ බවත්, එම නිසා විජේවීර මහතාට එම ප‍්‍රදේශය හැර යෑමට සිදු වූ බවත් වාර්තා වෙනවා.

ඒ පිළිබඳව ඔබට තිබෙන්නේ මොන වගේ මතකයක් ද?

පිළිතුර - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම අතරේ කටයුතු කළ නිසා මම දන්නවා එම ආරවුල පිළිබඳව. විජේවීර මහතා මෙහේ අය සම්බන්ධයෙන් පෝස්ටරයකුත් ගැසුවා. ඒ සම්බන්ධයෙන් මම දන්නවා.

නමුත් එම අර්බුදය මාර්තු මාසයේ 08 වැනිදා සමථයකට පත් කළා. තාත්තා ලිපියක් දාලා විජේවීර මහතා ගෙන්වුවා. එම සාකච්ඡාවට විජේසේන අයියාත්, සිසිල් අයියාත්, සුබසීල කොඩිකාර අයියාත්, ලක්‍ෂ්මන් මාදුවගේ අයියාත් ගෙන්වා සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසුව තිබුණ ආරවුල සමථයකට පත්වූවා. එම සාකච්ඡාවට සහභාගි වූ අයගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ ලක්‍ෂ්මන් මාදුවගේ අයියා පමණයි. එම සාකච්ඡාවෙන් එකට වැඩ කරන්න එකඟතාවයක් ඇතිකර දුන්නා අපේ තාත්තා මාර්තු 08 වැනිදා.

එම දිනය හොඳින් මතක තිබෙන්නේ ඇයි කියලා දන්නවාද?, මාර්තු 06 වැනි දා වනාතමුල්ලේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පොලිසියෙන් වටලල තිබෙනවා. එම වැටලීමෙන් බේරෙන්න පැනල ගිය ලොකු අතුල සහ විජේවීර සැඟවිලා ඉඳලා තිබෙන්නේ එක ගෙදරක. ඒ වෙනකොට ඔවුන් දෙදෙනා අතර ආරවුලක් තිබිලා තියෙනවා. විජේවීර මහතා මාර්තු 08 වැනිදා රාත‍්‍රියේ අපේ නිවසේ ඉඳලා 09 වැනි දා පාන්දර තමයි ගියේ. මාර්තු 09 වැනි දා වරකාපොළ ඇසළමුල්ලේ බෝම්බ පිපිරීමක් සිද්ධ වූවා. එම සිදුවීම නිසා එම දින වකවානු මට හොඳට මතකයි.

විජේවීර මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අපේ නිවසේ පැවැත්වූවා. එම සාකච්ඡාව පවත්වන්න සූදානම් වෙලා තිබෙන්නේ දෙල්දූවේ සිසිල් චන්‍ද්‍ර අයියලාගේ නිවස අසල ගෙඟ් අගුලක. නමුත් සිසිල් අයියලාගේ තාත්තා ඒ පිළිබඳව අපේ පියාට දැනුම් දී තිබෙනවා. ඉන් පසුව එම සාකච්ඡාවත් අපේ නිවසේදී පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගි වූ අය අතරින් තවමත් ලක්‍ෂමන් මාදුවගේ අයියා, වනාතේ ඔස්මන් අයියා, අනුර කුරුකුලසූරිය අයියා ජීවතුන් අතර සිටිනවා.

ප‍්‍රශ්නය - අම්බලන්ගොඩ කණ්ඩායම විජේවීර මහතා සමඟ අමනාප වීමෙන් පසුත් ඔබේ සහෝදරයා වූ සුනන්ද දේශප‍්‍රිය මහතා සිටියේ විජේවීර සමඟ ද?

පිළිතුර - ඔව් අයියත්, අනුර කුරුකුලසූරියත් දිගට ම සිටියේ විජේවීර මහතාගේ පැත්තේ. සිරගෙදර ඇතුළත දී තමයි ඔවුන් විජේවීරගෙන් වෙන් වූයේ.

ප‍්‍රශ්නය - හේතුව කුමක්ද?

පිළිතුර - දේශපාලන මතය තමයි. අපේ‍්‍රල් 05 දා පහරදීම සම්බන්ධයෙන් ඇති වූ මතය. මහ නඩුවේදී ලොකු අතුල, කුමානායක, ටී. ඞී. සිල්වා සහ කරු එක මතයක සිටියා. විජේවීර, කෙලී සේනානායක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ එක් මතයක් දැරුවා. වික්ටර් අයිවන් තවත් මතයක් දැරුවා. සුනන්ද දේශප‍්‍රිය, පේ‍්‍රමපාල සහ ආනන්ද පෙරේරා තවත් මතයක් දැරුවා. අනෙක් අය වෙන දෙයක් වෙද්දෙන් යන මතයේ තමයි සිටියේ.

හිරෙන් එළියට ආවාට පසුව වික්ටර් අයිවන් වෙනම දේශපාලන ගමනක් ගියා. ලොකු අතුල ආණ්ඩුවත් සමග දේශපාලනය කළා. විජේවීරගේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ නමින්ම දේශපාලනය කළා. සුනන්ද අයියලාගේ කණ්ඩායම ජනතා සංගමය ලෙස දේශපාලනය කළා.

ප‍්‍රශ්නය - අපේ‍්‍රල් 05 වන දා ආසන්නයේදී ඔබලාගේ නිවසේ මොනවගේ පරිසරයක්ද තිබුණේ

පිළිතුර - අපේ‍්‍රල් 05 වනදා ප‍්‍රහාරය එල්ල වන බව අපි දැනගෙන සිටියේ නැහැ. නමත් අපේ‍්‍රල් 05 වැනිදා සවස අපේ ලොකු අයියාට කියලා තිබෙනවා අපි අද රෑ ගහනවා ආනන්දන් එන්න කියලා. යන්න සූදානම් වෙනකොට වෙඩි හඬ ඇසෙන්න පටන් ගත්තා.

පසුවදා උදේ බලන කොට පොලිස් ස්ථානවලට පහර දීලා පිරිසක් අත්අඩංගුවට පත්වෙලා.

අපේ ගෙවල් පිහිටලා තිබෙන පෝරඹ ප‍්‍රදේශය බටපොල අතුලගේ ආණ්ඩුව යටතේ තිබුණේ. තල්ගස්ගොඩ ප‍්‍රදේශයත් එම ආණ්ඩුවට තමයි අයිත් වූයේ. අපේ නිවස පහළ පොරුත් ඇල ප‍්‍රදෙශයට පොල් ගස් කපල දාලා තිබුණා. සෑම දිනකම පොල් ගස් කපලා දානවා පොරුත් ඇල ප‍්‍රදේශයෙන් පාර හරස්වීමට සහ කළුවඩුමුල්ල ප‍්‍රදේශයෙන් මාර්ගය හරස් කිරීම සඳහා. කරන්දෙණියට යන පාරෙ ඇරැව්වල ප‍්‍රදේශයේදීත් මාර්ගය හරස් කර තිබුණ බටපොල ප‍්‍රදේශයට යෑම වැලැක්වීම සඳහා. ව්‍යාපාරයට සම්බන්ධ නිල ඇඳුම් ඇද ගන්න අය නම් පෝරඹ ප‍්‍රදේශයට ආවේ නැහැ. නමුත් රේඩියෝ, තුවක්කු එකතු කිරීම සඳහා සංවිධානයේ සාමාජිකයන් පොල්වත්ත ප‍්‍රදේශය දක්වා පැමිණ තිබෙනවා. ඒ දවස්වල කතාවක් තිබුණා සංවිධානයේ නායකයකු වූ ලක්‍ෂ්මන් මාදුවගේ අයියලාගේ නිවසේ තිබූ රේඩියො එකක් සංවිධානයේ සාමාජිකයන් විසින් අරන් ගිහින් කියලා.

ප‍්‍රශ්නය - ප‍්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව ඔබගේ තාත්තා කිව්වේ මොකද්ද?

පිළිතුර - බදුල්ලේ ප‍්‍රහාරය අසාර්ථකවීමෙන් පසුව සුනන්ද අයියා ගෙදර ඇවිත් ඉදිකැටිය ප‍්‍රදේශයට ගියා. (අම්බලන්ගොඩ) ව්‍යාපාර විසින් එම ප‍්‍රදේශය නිදහස් ප‍්‍රදේශයක් කරගෙන තිබුණා. අක්කාව එක්කන් එන්න කියලත් ලියුමක් දාලා තිබුණා.

ඇල්පිටිය, කරන්දෙණිය යන නිදහස් ප‍්‍රදේශවල බලය බිඳ වැටුණාට පසුව බටපොල ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එලල් වූවා. ඒ අපේ‍්‍රල් 24 වැනිදා. එම ප‍්‍රහාරයෙන් පසුව පළා යනකොට සුනන්ද අයියා ඇතුළු පිරිස මිනිසුන් විසින් අල්ලලා පොලිසියට බාර දුන්නා. අක්කා නිවසට පැමිණීමෙන් පසුව පොලිසියට බාර දුන්නා. සුනන්ද අයියා නිදහස් වූයේ 1977 දී අපරාධ යුක්ති කොමිෂන් සභාව අහෝසි වීමෙන් පසුව අක්කා වසර එකහමාරක් පමණ සිරගතව සිටීමෙන් පසුව නිදහස් වූවා.

ප‍්‍රශ්නය - ඔබත් කි‍්‍රයාකාරී සාමාජිකයකු නේද? අත්අඩංගුවට පත් නොවී බේරුනේ කෙසේද?

පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා අම්බලන්ගොඩට ආවේ ගාන්ධි සර්. ගාන්ධි සර් අම්බලන්ගොඩ කෙනකු වූ නිසා බොහෝ දෙනකු මැරුණේ නැහැ. අත්අඩංගුවට පත්වූවා පමණයි.

පාසල්වල අය අත්අඩංගුවට ගන්නේ විදුහල්පතිවරුන් විසින් ලබාදුන් නම් ලැයිස්තුවලට අනුව. ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ විමලසූරිය මහතා කාගෙවත් නම් දුන්නේ නැහැ. එවකට ධර්මාශෝකයේ ශිෂ්‍ය ලැයිස්තුවේ සිටිය අයගෙන් තුන්දෙනකු පමණයි අත්අඩංගුවට පත් වූයේ. ඔවුන්ගෙන් කිත්සිරි සහ ආනන්ද පූර්ණකාලීනයන් ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි අය. කිත්සිරි පාසලට ආවේ නැහැ. ආනන්ද නම් පාසලට ඇවිත් සිටියදී තමයි අත්අඩංගුවට ගන්නේ. ආනන්ද නිදහස ලබා යළි පාසලට පැමිණීමෙන් පසුව විදුහල්පතිවරයා ඔහුට ශිෂ්‍ය නායකකමකුත් දුන්නා. අනෙක් ශිෂ්‍යයා වූ සුමතිත් අත්අඩංගුවට පත්වී නිදහස් වීමෙන් පසුව පාසලට ආවා. විදුහල්පතිතුමා ඔහු සම්බන්ධයෙනුත් ඉතා නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා.

ධර්මාශෝකයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ විමලසූරිය මහතාට ලොකු බලයක් තිබුණා. එවකට පැවති සමසමාජ පක්‍ෂයත් සම්බන්ධ ආණ්ඩුවත් සමග එතුමාට ලොකු සම්බන්ධයක් තිබුණා. එම නිසා ව්‍යාපාරයට සම්බන්ධවෙලා සිටිය, පෝස්ටර් අලවපු අය පවා අත්අඩංගුවට ගන්න දුන්නේ නැහැ.

අනෙක් කාරණය 71 අපේ‍්‍රල් 24 වැනිදා වගේ වෙනකොට සිංහරාජ කැලය ප‍්‍රදේශ හැරුණු විට ගාලූ දිස්ති‍්‍රක්කයේ අනෙක් ප‍්‍රදේශ නිදහස් කරගෙන තිබුණා. මැයි මාසය වන විට ආණ්ඩුව ව්‍යාපාරයට සම්බන්ධ අයට බාරවෙන ලෙස දැනුම් දුන්නා. බොහෝ දෙනකු බාර වීම නිසා අත්අඩංගුවට ගැනීම් තිබුණේ නැහැ.

ප‍්‍රශ්නය - ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළ සමහර පුද්ගලයන්ගේ නිවෙස් පවා ගිනිබත් කර තිබුණා නේද?

පිළිතුර - මම දැනුවත් ආකාරයට අම්බලන්ගොඩට ආසන්න ප‍්‍රදේශයේ නිවසක් ගිනි තිබ්බේ කුරුඳුවත්තේ පමණයි. සිසිල් චන්ද්‍ර අයියලාගේ නිවසේ සමහර කොටස්වලට පහර දී තිබුණා. අක්කා සොයන්න අපේ නිවසට ආපු අවස්ථාවේදීත් පොඩි කළබලකාරී තත්ත්වයක් ඇතිවූවා. නමුත් ඒ දවස්වල හැටියට ඒක ලොකු දෙයක් නොවෙයි.

ප‍්‍රශ්නය - අපේ‍්‍රල් 05 වන දායින් පසුව ඔබගේ පියා විජේවීර මහතා පිළිබඳව දැක්වූයේ කෙබඳු ආකල්පයක්ද?

පිළිතුර - විශේෂත්වයක් නැහැ. අපි අපගේ අයියා ඇතුළු ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි පුද්ගලයන්ට එරෙහිව පනවා තිබූ නඩු විභාග වන ආකාරය බලන්න උසාවියට ගියා. එබඳු අවස්ථාවලදී අපගේ තාත්තාට විජේවීර මහතා මුණගැසුණා. අපේ අයියා සුනන්ද ජනතා විමුක්ති පෙරමුණේ වෙන්වෙනතුරු එම සම්බන්ධය තිබුණා. 1980 දී අපේ තාත්තා නැති වුණා. එම මළ ගෙදරටවත් විජේවීර මහතා ආවේ නෑ.

විජේවීරගේ ලිපි ලේඛණ වගයක් අපේ අම්මා ළඟ තිබුණා. එම ලිපි ලේඛණ අපේ අම්මා අපේ අයියලටවත් පෙන්නුවේ නැහැ. පසුව අපේ අම්මා එම ලිපි ලේඛණ පුච්චා විශාල කර දැම්මා.

ප‍්‍රශ්නය - රෝහණ විජේවීර මහතා ඔබ දකින්නේ කොයි විධියට ද?

පිළිතුර - ඒ කාලයේ ඔහු තමයි නායකයා. 1976 දී එම දේශපාලනයෙන් කැඩුනයින් පසුව ඔවුන් සමග කටයුතු කළේ නැහැ.

ඔහු දක්‍ෂ කතිකයෙක්. වතුර උගුරක්වත් නොබී පැය දෙක තුනක් කතාකරාවි. ඔහු ආවා කියලා අපේ ගෙදර විශේෂ කෑම හැදුවේ නැහැ. අපේ ගෙදර තිබුණ දෙයක් ඔහු කෑවා.

අපේ ගෙදර එන කොට ඇදගෙන ඉන්න ඇඳුම් කිලිටිවෙලා තිබුණොත් අපේ අම්මා හෝදලා දෙනවා. අපේ පටබැදිමුල්ලේ නිවසේ තිබුණේ බාල්දි වැසිකිලියක්. ඔහු ඒකට ගියා.

ප‍්‍රශ්නය - අපේ‍්‍රල් 05 වන දාට පෙර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය අද ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - චීන, කියුබානු විප්ලවවලින් පසුව ලෝකය පුරා විමුක්තිකාමි දේශපාලන රැල්ලක් හමා යනවා. එම දේශපාලන රැල්ල කාබ්බෝජය, වියට්නාමය, ලාඔසය වැනි රටවල් දක්වාත් ගමන් කරනවා. අපි‍්‍රකානු, ලතින් ඇමරිකානු රටවල්වලත් විමුක්තිකාමී සටන් ඇති වෙනවා. ජාතික විමුක්ති සටන් ඇතිවෙනවා. ලෝකය පුරා හඹා ගිය එම දේශපාලන ප‍්‍රවණතාවය ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානයක් බිහිවීමට ප‍්‍රධාන වශයෙන්ම බලපානවා. ඒ වගේම රැකියා විරහිතභාවය, ඉඩම් හිඟය, සමහර ප‍්‍රදේශවල කුල පීඩනය වැනි සාධකත් ඒ සඳහා බලපෑව. එම සියලූ සාධකයන් එක්වීමෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නේ.

එහෙත් එම ව්‍යාපාරය තැණයන්ගේ අරගලයන් මිස ජනතාවගේ අරගලයන් බවට පත්වූයේ නැහැ. ජනතාවගේ අරගලයක් නොවන අරගලයක් කොහොමටත් දිනන්න බැහැ.

අනෙක් කාරනය තමයි ප‍්‍රචණ්ඩත්වය ඕනෑම අවස්ථාවක හෙළා දැකිය යුතුයි. නමුත් ඒ කාලයේදී කිව්වේ දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කුවේ කඳ තුළින් කියලා තමයි. නමුත් දැන් ලෝකය එම අදහස සම්පූර්ණයෙන්ම අතහැරලා එදා අපි ලිව්වේ මව්බිම නැත්නම් මරණය, දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කුවෙව් කද තුළිනි, අපේ අතින් ගිලිහෙන තුවක්කු අහුලා ගැනීමට තවත් අතක් දිගුවේනම් අපි ඕනෑම තැනක මැරෙන්න සූදානම් වැනි සටන් පාඨ. නමුත් අද වන විට යුද්ධය ඝාතනය වැනි දේ හෙළා දකින මට්ටමකට ලෝකය පැමිණ තිබෙනවා. එම නිසා එදා පැවති ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානයකට අද පවතින්න බැහැ. ඒ වගේම තරුණයන්ට පමණක් ලෝකය වෙනස් කිරීමටත් බැහැ.

ප‍්‍රශ්නය - අපේ‍්‍රල් 05 වැනිදා එකවර පහර දීමට සැලසුම් කළත්, ඊට පෙර දින වැල්ලවාය පොලිසියට පහර දීම නිසා එම සැලසුම නිසි පරිදි කි‍්‍රයාත්මක නොවුන බව පෙනෙන්න තිබෙනවා. සැලසුම් කළ ආකාරයට ප‍්‍රහාරය එල්ල වූවා නම් බලය අල්ලා ගන්න තිබුණද?

පිළිතුර - පොලිස් ස්ථාන අල්ලා ගන්නත් පනාගොඩ හමුදා කඳවුර වැනි හමුදා කඳවුරු අල්ලා ගන්න පුළුවන්ද? ව්‍යාපාරය සතු වූ අවි බලය අනුව හමුදා මූලස්ථාන, ගුවන් හමුදා මූලස්ථාන වැනි ස්ථාන අල්ලාගෙන පාලනය කිරීමට බැහැ. පාලනය කළත් ජනතාවගේ සහාය ලැබුණේ නැහැනේ. දැන් බලන්න මියන්මාරයේ හමුදාව බලය අල්ලන් සිටිනවා නමුත් ජනතාව පාරට බැහැල අරගල කරනවා. අපේ‍්‍රල් 05 වැනිදා පහර දීමෙන් පොලිස් ස්ථාන 4 යි අල්ලා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඌරගහ, දෙණියාය, රාජාංගණය, වරකාපොල යන පොලිස් ස්ථාන පමණයි අල්ලාගෙන තිබෙන්නේ. ඒ හැරුණු විට අල්ලාගෙන තිබෙන්නේ උපක‍්‍රමික වශයෙන් අත්හැර පසුබැහැපු පොලිස් ස්ථාන පමණයි.

එහෙත් විල්පත්තුව වැනි වනාන්තර තුළ දීර්ඝකාලීන සටනක් ගියා. ගුරුසිංහ වැනි නායකයන් අත්අඩංගුවට ගත්තේ 1976 දී. නන්දන මාරසිංහ ඇතුළු කණ්ඩායම් හිරෙන් පැනලා වනාන්තර තුළ සිටිමින් සටන් කළා. වසන්ත දිසානායකත් වනාන්තර තුළ සිටිමින් සටන් කළා. 1977 න් පසුව ආයුධ සන්නද්ධ අරගලයන්ට තිබුණ අවස්ථාව නැති වී ගියා.

ප‍්‍රශ්නය - 1977 න් පසුව රෝහණ විජේවීර මහතා මුණගැසුනේ නැද්ද?

පිළිතුර - රූපයකින් දුටුවා මිස මුණගැසුනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුට මුණගැසුනේ අනුර කුමාර දිසානායක මහතා තමයි. සෝමවංශ අමරසිංහ මහතා මුණගැසුණේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසුව තමයි. මැතිවරණ කොමසාරිස්වරයා ලෙස තමයි ඔවුන්ව මුණගැසුනේ.

ප‍්‍රශ්නය - මේ දිනවල රෝහණ විජේවීර මහතාගේ පුතා උවිදු විජේවීර තමන්ගේ පියාගේ දේශපාලන හිතවතුන් මුණගැසෙමින්, නව දේශපාලන ව්‍යාපාරයක් බිහිකිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

උවිදු විජේවීර මහතා ඔබව මුණගැසීමටත් පැමිණියා ද?

පිළිතුර - මම මුණගැසීමටත් පැමිණියා. දෙවැනි පරපුර කියලා වැඩපිළිවෙළක් තිබෙන බව පෙනෙනවා. නමුත් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ ගෙනගිය ව්‍යාපාරය යළි ගොඩනැගීමට කටයුතු කරනවාද කියා අපි දන්නේ නැහැ.

ප‍්‍රශ්නය - ඔහුට යමක් කිරීමට පුළුවන් වේවිද?

පිළිතුර - ඔහුට දේශපාලනයෙන් ඉදිරියක් තිබෙනවාද නැද්ද කියන එක මට කියන්න බැහැ. නමුත් මේ වන විට 71 කේ යුගයත් 88 යුගයත් අවසන්. ඒකත් හරියට උතුරේ සන්නද්ධ අරගලය අවසන් වූවා වගේ තමයි. rohana wijeweera

එහෙත් තවමත් ප‍්‍රශ්නය ඉතිරි වී තිබෙනවා තරුණයන්ට දේශපාලනයට යොමුවීමට තිබෙන ගැටලූ තවමත් තිබෙනවා. ඒ වගේම ආර්ථික ගැටලූ, රැකියාවල ගැටලූ, ඉඩම් පිළිබඳ ගැටලූ තවමත් තිබෙනවා. ඒ වගේම අද ලෝකයේ තිබෙන නිදහස පිළිබඳ ගැටලූ තරුණයන්ට තිබෙනවා. සංස්කෘතික ගැටලූ තිබෙනවා.

එම ගැටලූවලට විසඳුම් සොයන්න තරුණ ව්‍යාපාර බිහිවෙන්න පුළුවන්. නමුත් පැරණි ව්‍යාපාර නම් යළි ගේන්න බැහැ. කෙසේ වුවත් මම තරුණයකුගේ දේශපාලනයවත්, සංවිධානයක්වත් විවේචනය කරන්නේ නැහැ. මොකද ඒක මට අයිති වැඩක් නොවෙයි. නමුත් මම ඉතාමත් කැමතියි. ඕනෑම කෙනකු දේශපාලනයට එනවාට මොකද මැතිවරණ කොමිසමේ හිටපු සභාපති ලෙස මම දරණ මතය තමයි සියලූම පුරවැසියන් දේශපාලනඥයන් විය යුතු බව.

උවිදුගේ වැඩපිළිවෙළ රට පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් මම සිතනවා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කාබන් කොපි එකක් හදන්න යන එකක් නැහැ කියලා. කෙසේ නමුත් ඊට පක්‍ෂව හෝ වරුද්ධව අදහස් දක්වන්න මට බැහැ.

Divaina
GOSSIP GOSSIP LANKA

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook