කොළඹට ආව නැවේ දුමයි රොඩුයි ලංකාවට මේ ලිපිය ලියන මොහොත (බදාදා දින සවස් වරුව) වන විටත් ශ‍්‍රී ලාංකේය මුහුදු සිමාවේ ගිනිගෙන දැවෙමින් පවතින 'MV - Press Pearl’ නමැති නෞකාව පිළිබඳව මේ වනවිට මුළු ශ‍්‍රී ලංකාවේම අවධානය යොමුවෙලා තියෙනවා.
ඉතින් මේ නැව පිලිබඳව ආන්දෝලනාත්මක පුවතක් නාවික පුවත් වාර්තාකරණයේ යෙදෙන www.splash247.com " marinetraffic.com වැනි ජනප‍්‍රිය ජාත්‍යන්තර වෙබ් අඩවි අද දිනයේ වාර්තා කර තිබුණා.
ඒ පුවතට අනුව සිද්ධිය සැකෙවින් මෙසේයි.
සිංගප්පූරු වරායේ ලියාපදිංචිය සහිත මේ නැවේ වයස තවමත් මාස 03ක් පමණයි. මීටර් 186ක් දිග මීටර් 34ක් පළල චීනයේ නිෂ්පාදිත මේ නැවේ ධාරිතාවය දළ වශයෙන් කන්ටේනර් 2700ක් පමණ වෙනවා. මේ වන විටත් නැවේ හිමිකරුවන් තම නෞකාවේ විනාශය Constructive Total Loss බව පිළිගෙන තියෙනවා. මෙම වාක්‍යය නාවික රක්ෂණ කටයුතු වලදී බහුලව භාවිතා වන වචනයක්. මේකෙ තේරුම ඉතාම සරලව පැහැදිලි කරනවා නම් මෙහෙමයි. සිදුවී ඇති විනාශයේ තරම විනාශයට බඳුන් වුණු නාවුක දේපළෙහි වර්තමාන වටිනාකමටත් වඩා වැඩියි යන්නයි. (A constructive total loss in marine cargo insurance means that the cost of repair of a damaged item is more than the current value of the item) වෙනත් වචන වලින් කියනවා නම්, මේ නැවේ ගින්න මේ දැන් සම්පුර්ණයෙන් නිවා දමල, ඉතිරි කාර්ගෝ ප‍්‍රමාණය සහ නැව බේරාගනු ලැබුවත්, නැව සහ විනාශ නොවුණු කාර්ගෝ සම්පුර්ණයෙන්ම විකුණලා එන මුදල, දැන් සිදු වී පවතින විනාශයට වන්දි ගෙවීමට ප‍්‍රමාණවත් නොවන බවයි. දැන්මම, නෞකා හිමිකාර සමාගම මෙවැන්නක් ප‍්‍රකාශ කිරීම තුළ පවතින බරපතළකම කොතරම්ද?
ඒ වගේම මේ නැව දැනටමත් "General Average" ලෙස ප‍්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙනවා. මේ යෙදුමත් නිරතුරුවම නාවික රක්ෂණ කටයුතු වලදී භාවිතා වන්නක්. මෙහි දළ අදහස වන්නේ, මෙවැනි විපතකදී මේ භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාව පමණක් තනිවම වගකීම භාර නොගන්නා බවයි.
එනම්, මෙහි වගකීම මේ නැවේ ඒ අවස්ථාවේදී තිබූ සෑම කන්ටේනරයකම හිමිකරුවන් හෙවත් කාර්ගෝ ඕනර්සලා වෙතද පැවරෙන බවයි. :General Average means, literally, a general loss. When General Average is declared not only ocean carriers are liable for loss or damage to cargo, but every cargo owner is actually responsible, in part for the cargo of others. as well as the ship itself)
හරි මේ ටික කීවේ, ඔබේ දැනුමට යමක් එකතු කරගන්නයි.
කොහොම වුනත් කියන්න ගිය කතාව මෙහෙමයි,
පෙර කී ජනප‍්‍රිය වෙබ් අඩවි වාර්තා කරන අන්දමට, ඔවුන් පැවැත්වූ සාකච්චාවකට අනුව *-Press Feeders සිංගප්පුරුවේ සාමාන්‍යාධිකාරි ටිම් හර්ට්නොල් මහතා පවසා තිබුණේ මෙවැන්නක්. (Mr Tim Hartnoll the executive chairman of -Press Feeders Singapore) ලංකාවට නාවික සැතපුම් දහස් ගණනකට කලින්, හරියටම කියනවා නම් අරාබි මුහුද ප‍්‍රදේශයේදී නැවේ කාර්යමණ්ඩලය වාර්තා කරල තිබූණා යම් සාන්ද්‍ර අම්ල කාන්දුවක් සිදුවන බව. නැවේ ඩෙක් තට්ටුව මත ගබඩා කර තිබුණු කන්ටේනර් වලින් තමයි මෙය වාර්තා වෙලා තිබුණේ. මේක සම්පුර්ණයෙන්ම ඉතා අපරික්ෂාකාරී සහ ලාභදායි ඇසුරුම් ක‍්‍රම භාවිත කිරීම නිසා ඇති වූ තත්වයක්. ඉතින් මේ කාන්දුවීම දැකපු නැවේ කපිතාන්වරයා, වරායන් දෙකකින්ම අවසර ඉල්ලල තිබුණා මේ කාන්දුවීම සහිත බහාලූම් ගොඩබාන්න ඉඩ දෙන්න කියලා. නමුත්, ඔවුන් මේවා ගොඩබාන්න තියා වරායට ඇතුළු වෙන්නවත් අවසර දීල තිබුණේ නෑ. ඉන්දියාවේ බටහිර වෙරළ තිරයේ පිහිටි හසිරා සහ කටාර් රාජ්‍යයේ හමාඞ් තමයි මේ වරායවල් දෙක.
It was a case of not in my backyard syndrome ලෙස පවසමින් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණේ මේ තත්ත්වය තමා පමණක් දැනසිටි රහසක් නොවුණු බවයි. තවදුරටත් මේ වෙබ් අඩවි වාර්තා කරන්නේ, මේ වන විට නැවේ හිමිකරුවන් විසින් ලන්ඩන් P & I රක්ෂණ සංගමය මේ අනතුරෙන් පසුව මේ නැව සම්පුර්ණ හානියකට (A Total Loss) පත්වූ බව පිළිගනු ඇති බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවයි.
ලෝකයේ නාවුක සංඛ්‍යා දත්ත අනුව, මෙවැනි කන්ටේනර් ආශ‍්‍රිත ගිනි ගැනීමේ අනතුරක් සෑම සති දෙකකට වරක්ම ලොව පුරා නාවික ගමනාගමනයේදී සිදුවන බවත් තවදුරටත් වාර්තා කරනවා.
ඉතින්, ඔබ බොහෝ දෙනකු දන්නා පරිදිම අපේ දකුණු ලක පහුකරමින් දෛනිකව නෞකා 300ක් පමණ යාත‍්‍රා කරන පසුබිමක ඊළ`ග අනතුර ලංකාව අවට මුහුදේ කවදා සිදුවේවිද? අපි ජාතියක් විදිහට ඒ සඳහා මුහුණ දීමට සුදානම්ද? අවශ්‍ය සම්පත් සහ නීතිමය පසුබිම අපිට තියෙනවාද? මේ පිලිබඳව ක‍්‍රියාත්මක විය යුතු වෙළෙඳ නාවික කාර්යාලය (DGMS) , සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (MEPA) ශ‍්‍රී ලංකා නාවික හමුදාව (SL NAVY), ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව (Coast Guard), නීතිපති දෙපාර්තුමේන්තුව (AG Department),
වරාය අධිකාරිය SLPA, NARA ආයතනය වැනි රාජ්‍ය ආයතන කෙතරම් මේ පිළිබඳව කාර්යක්ෂමද?
මේ ආයතන අතර වැඩ කටයුතු කරන්නට නිසි ක‍්‍රමවේදයක් මෙන්ම සහසම්බන්ධයක් තිබෙනවද ?
සම්බන්ධීකරණය කරන්නේ කවුද?
කොහොමද?
කොහෙදිද?
අවසන් තීරණය ගන්නේ කවුද? නියමුවන් කවුද? (Steering Committee and final Decision)
ඒ වගේම කොහොමහරි දැන් ඉතින් මේ නැව ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේදී ගිනිගෙන අවසානයිනේ. දැන් ඉතින් මේ අනතුරට මුහුණ දෙන්නට අපි සුදානම්ද ?
අපිට ඒ සඳහා සම්පත් තිබෙනවද ?
ඒ වගේම, මේ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට රටවල් දෙකකින් ඇතුළුවීම ප‍්‍රතික්ෂේප වුණු මේ නැවට කොළඹ වරාය ආසන්නයටම ඇතුළුවීමට අවසර දුන්නේ කවුද?
එසේ අවසර දීමකදී, මේ නැවේ මෙවැනි රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදු වෙමින් පවතින තත්ත්වය පිළිබඳව අපේ බලධාරීන් නිසි අවධානය යොමු කළාද?
නැංගුරම්ලෑමට ඉඩ නොදී, මේ නැවට කොළඹ වරායට තරමක් දුරින් පාවී පාවී ඉන්නට සලස්වන්නට තිබුණා නොවේද? (Instead of anchoring could have considered the option of drifting) එසේ නැංගුරම් නොදා පාවෙමින් පමණක් තිබුණා නම්, ඉතා පහසුවෙන්ම මේ නැව ගිනිගැනීමත් සමගම ඈත දියඹට ඇදගෙන යෑමට අවස්ථාව තිබුණා නොවේද?
ඒ වගේම MT New Diamond නෞකාව අනතුරට පත් වුණු මොහොතේ පටන් මේ දක්වා ගෙවුණු කාල පරිච්ෙඡ්දය තුළ අපි උගත් පාඩම් සහ එදා සිටි තැනට වඩා යම් උසස් තැනක අද අප සිටිනවාද?
ඒ වගේම, මේ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට රටවල් දෙකකින් ඇතුළුවීම ප‍්‍රතික්ෂේප වුණු මේ නැවට කොළඹ වරාය ආසන්නයටම ඇතුළුවීමට අවසර දුන්නේ කවුද?
මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් අප හමුවේ පැනන`ගිද්දී, පෙර කී රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය / සැබෑ වුවමනාව සහ දූෂිත/අදූෂිත භාවය / නිසි පරිදි වගවීම / නොවීම පිලිබඳ සොයා බලන්නට රටේ පාලකයන්ට යුතුකමක් - වගකීමක් ඇත්තේම නැද්ද ??
ඒ සඳහා ජනාධිපතිතුමා RMV එකට ගියා වගේම මෙකි රාජ්‍ය ආයතන වලින් කීපයකට හෝ ගොඩවෙලා මේවයේ සැබෑ තත්ත්වය සියැසින් දැකබලාගෙන ඊට නිසි විසඳුම් දියයුතු නොවේද?
නොඑසේ නම්, ජාතියක් විදිහට ලංකාවේ මුහුදු තීරයේ කිසිදු නාවික අනතුරක් මින් මතුවට නම් සිද්ධ වෙන්න එපා කියලා සෑම නිවසකම, කහ දියෙන් රුපියල් 5 කාසියක් හෝදලා පඬුරක් ගැටගහල තිස්තුන්කොටියක් දෙවි දේවතාවුන්ට හැම ගෙයකින්ම පුංචි භාරයක් වෙමුද?
ගයාන් සමරසිංහ - DIVAINA