බෝයි ෆ්‍රෙන්ඩ්-බෝයි ෆ්‍රෙන්ඩ්ලා..
ගර්ල් ෆ්‍රෙන්ඩ්-ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා
ගැන මුජිබර් කියයි
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පවුල් දේශපාලනයට එරෙහිව දැඩි ලෙස අදහස් දැක්වූවද, දැන් ඔහු තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පියා සහ පුතා පමණක් නොව පෙම්වතියන් සහ පෙම්වතුන් පවා පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති බවයි.
ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් රහුමාන් මහතා කියා සිටියේ අද විපක්ෂයට 'හොරු' යැයි පවසන පිරිස මීට පෙර රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට සෘජුවම දායක වූ බවයි.
2005 වසරේ 'මහින්ද චින්තනය' ලියා තරුණයින්ට මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස පැවසුවේ මොවුන් බවත්, එබැවින් රාජපක්ෂවරුන් කෙරෙහි කේන්තියක් ඇත්නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඉදිරියේ තබාගෙන ඊට බැණ වදින ලෙසත් ඔහු උපහාසාත්මකව පැවසීය. සමගි ජන බලවේගයේ කිසිවෙකු රාජපක්ෂවරුන්ට කිසිදා ඡන්දය ලබා දී නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.
අද වන විට පාසල් දරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන පිරිස, 87-88 භීෂණ සමයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව දරුවන්ට පාසල් යාම වළක්වා ඔවුන් පාරට ඇද දැමූ බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය. එදා "ඉස්කෝලෙට වඩා මව්බිම ලොකුයි" කියමින් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි කළ පිරිස අද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන කතා කිරීම හාස්‍යජනක බව ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂයට බැණ වැදීම විනෝදාංශයක් කරගෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි මොහොතේ සිට කරන්නේ විපක්ෂයට සහ විපක්ෂ නායකවරයාට බැණ වැදීම පමණක් බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඇතැම් විට මොවුන් තම නිවෙස්වල බිරින්දෑවරුන් සමඟ ඇති කරගන්නා ආරවුල්වල කේන්තිය පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂය දෙස බලා පිට කරන්නේදැයි සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය

