Advertisement

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කර ඇත.

ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය. 

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. 

පොහොර ආනයනයේ දී මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි එතුමා දැනුම් දුන්නේය.
ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටිති. රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිළි කළේය. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි එතුමා කීය. 

කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතී. වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුය. 

වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. 

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල, මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සාකච්ඡාවට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements