කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා
අපි ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යනවා
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
මෙම හමුව සංවිධානය කර තිබුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසිනි.
දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීම සහ නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබලන වටපිටාවක් තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි.
“අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා.
ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා.
අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා.
අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්.
අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ.
නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”
