Featured News

Video Gossip

Advertisement

පොහොට්ටුවයි , සජබයයි  හයිජැක් කරන්න එජාපයෙන් මෙහෙයුමක්

සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු හා පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාපයට සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

එජාපය සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත්, ඒ අනුව ඉදිරි මැතිවරණයකදී තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වීමට මෙම මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මෙම සාකච්ඡා සිදුවන බව ත්, ඊට තම පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ලැබී තිබෙන බව ත් හෙතෙම කීවේ ය.දැනට සාකච්ඡාවලට සම්බන්ධ වූ මෙකී මන්ත්‍රීවරුන් බොහොමයක් එජාපය හැරගිය පසුව දේශපාලන අනාගතය පිළිබඳව අවිනිශ්චිතභාවයකින් සිටින බව ත්, ඉදිරියේදී එජාපයෙන් මැතිවරණයකට ඉදිරිපත්වීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ත් රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එජාපය හැරගොස් සජබය සමග එක්ව සිටි බොහෝ පළාත් පාලන මන්ත්‍රීවරුන් නැවත එජාපයට එකතුවී සිටින බව ද මහ ලේකම්වරයා කීවේ ය.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට තවත් සිටින්නේ සජබයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 200ක් පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

ඉදිරි සති දෙකෙන් පසුව දිස්ත්‍රික්කවල තෝරාගත් කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පක්ෂයේ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන බවත්, ඉන්පසුව ලබන වසර මුල සිට පක්ෂයේ බිම මට්ටමේ සංවිධාන කටයුතු ආරම්භ කළ හැකි බව ත් මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

2023 වසරේ පක්ෂයේ සංවිධාන කටයුතු සිදු කරන ආකාරය ඇතුළත් වාර්තාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත බාරදුන් බව ත්, ඉදිරි දෙසතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇති බවත් හෙතෙම කීවේ ය.

පක්ෂයේ ඊළඟ පියවර කෙසේ සිදුකළ යුතු දැයි පක්ෂ නායකවරයා නිරන්තරයෙන් උපදෙස් හා අවවාද ලබාදෙන බව ත්, ඒ අනුව විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් රංගේ බණ්ඩාර පැවසීය.

එසේ ම, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එජාප පාක්ෂිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඇමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට ත්, එජාපය හැර ගිය පාක්ෂිකයන් නැවත පක්ෂය වෙත රඳවා ගැනීමේ වැඩසටහන් පුළුල් කිරීමටත් සැලසුම් කර තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

අමිත් මධුරංග ගමගේ, ගගනි වීරකෝන්
Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements