පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලයට සහභාගීවීම අනවශ්‍ය බව තමා වෙත දැන්වා ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබේ.
එවකට ආරක්ෂක මණ්ඩලයට ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතා මේ බව තමාට වාචිකව දැනුම් දුන් බව පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිස්පතිවරයා පවසා සිටියේ තමා ආරක්ෂක මණ්ඩලයට සම්බන්ධවීම අනවශ්‍ය බව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මණ්ඩලයට ලේකම් කපිල වෛද්‍යරත්න මහතා වෙත දැනුම් දී ඇති බවය.
ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඉන් පසු තමා එයට සහභාගී නොවූ බවත් පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
ජූජිත් ජයසුන්දර මහතා මේ වනවිට ජනාධිපතිවරයා ගත් තීරණයක් අනුව පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබේ.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද තෙවැනි දිනටත් රැස් වූ අතර පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අද දිනයේ සාක්ෂි ලබාදෙන ලෙස දන්වා තිබිණි.
පැන්ෂන් නැතුව ගෙදර යනවා ද? වරද පිළිඅරන් අස්වීම දෙනවද?
කුමන පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරියට ගියත් තමාට වරදකරු වීමට සිදු වන බව එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා විසින් පැවසු අතර, එහිදී “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද? වරද පිළිඅරන් අස්වීම දෙනවද?“ යනුවෙන් විමසු බවද පොලිස්පතිවරයා අද දිනයේ දී සාක්ෂි දෙමින් පැවසීය.
ජනාධිපතිවරයා සිව් වතාවක් පමණ මේ ගැන විමසු බවත් පැවසු පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී තමා සතු ලියවිලි ජනාධිපතිවරයාට පෙන්වු බවත්, ඒවා දෙස ජනාධිපතිවරයා ඉතා උවමනාවෙන බලා සිටි බවත් පැවසු පොලිස්පති වරයා, තමා වසර 35 ක පමණ පොලිස් සේවයේ නම කැත කර ගෙන නැතැයි ද පවසා සිටියේය.
තමා හොරෙක් නොවන බවත්, මංකොල්ලකාරයෙක් නොවන බවත් පැවසු පූජිත් ජයසුන්දර මහතා, තමා පොලීසියෙන් හම්බකර ගත්තේ නැති බවත් පැවසීය.


