විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.
ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම සදහා අද (17) දිනයේ සිට පක්ෂයේ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක කාර්යාලයට කැදවා සාකච්ජා පැවැත්වීමට තීන්දු කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු සිය දේශපාලන ගමන යළි ආරම්භ කළේද ‘මහින්ද සුළග’ නමින් නුගේගොඩ නගර මධ්‍යයේ රැස්වීමක් සංවිධාන කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට යෝජිත නව පක්ෂයේ සංවිධාන කටයුතු සහ එහි ඉදිරි කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත්ව ඇති බව වාර්තා වනවා.
අවශ්‍ය ගොඩනැගිලි ලබා දෙමින්, සංවිධාන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදෙමින් කටයුතු කිරීමට මෙම මාධ්‍ය ආයතන හිමිකරු සූදානම්ව ඇති බව පැවසෙනවා. එහිදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මාධ්‍ය ආයතන හිමිකරු සූදානම්ව සිටිනවා.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජය වීමට බලපෑ හේතුවක් ලෙස ප්‍රතිරූපය ගොඩනැංවීමේ වැඩසටහනක් සහ ප්‍රවෘත්ති නිර්මාණය නොවීම බවට මෙම මාධ්‍ය ආයතන හිමිකරු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රචාරණ කටයුතු සඳහා පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක දේශපාලන වැඩසටහන් මෙහෙය වූ නිවේදකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මේ මාධ්‍ය හිමිකරු විසින් සේවයට බඳවාගෙන ඇතැයි පැවසෙනවා.
මෙම නවක සේවකයන් දෙදෙනාට පැවරී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිර්මාණය කිරීමයි.

