ආගමික ස්ථානවල මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වීම් තබා රූපවාහිනිය සඳහා ප‍්‍රකාශ සිදුකිරීම් පවා නීති විරෝධී බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ආගමික ස්ථානයක මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යම් අපේක්ෂකයකු නිරත වූ බවට කවුරුන් හෝ විරෝධතාවක් ගොනු කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ බලතල ද පනත සතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළා.
1981 අංක 1 දරන මැතිවරණ පනත අනුව ආගමික ස්ථානවල දේශපාලන පක්ෂ ප‍්‍රවර්ධනය කිරීම පනතට පටහැනි බව ද ඒ මහතා මහානායක ස්වාමින් වහන්සේලා වෙත දන්වා සිටියා.
බෝධි පූජා, දානමය පුණ්‍යකර්ම, දේව මෙහෙයන් ඇතුළු නොයෙක් ආගමික වැඩසටහන් පූජනීය ස්ථානවල සංවිධානය කරමින් අපේක්ෂකයින් හා පක්ෂ ප‍්‍රවර්ධනය කිරීම පසුගිය මැතිවරණ කිහිපයේදීම සිදු වූ බවත්, මෙය බෞද්ධ සිද්ධස්ථානවල පමණක් නොව සෙසු ආගමික ස්ථානවල ද සිදුවන බවත් ඒ මහතා සඳහන් කළා.

