Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සයිබර් අවකාශයේ චණ්ඩියකු ලෙස හැසුරුණු නිකවැරටියේ සහන්මෙම දරුවාගේ මවුපියන් දෙදෙනාම ගුරුවරුන්ය

අට, නවය දශකවලදී තොටවත්තයන්ගේ දෙබසින් රසවත් වූ වැඩසටහන් පෙළක, පෙළහර නිසාම ජයවර්ධනයන්ගේ සුජාත දුවා දරුවන් වූ පරපුර යම් ශික්ෂණයකට ලක් වූ බව කිව යුතුමය. ලියා තැබිය යුතුමය. ඔෂීන්, රොබින් හුඩ්, ලන්ඩනයේ අතරමං වී, ඇන්ඩසන්ගේ සුරඟන කතා කරළිය මෙම පෙළහර පෑවේ අහඹුවකින්ම නොවේ. කරුණාව, නිර්භීත වීම, අභියෝගයන්ට මුහුණ දීම, නපුරු පිසාචයන් කුමන මොහොතක හෝ මුලිච්චි වීමට හැකි බව එම කතාංගයන් මැනවින් පෙන්වා දුන්නේය. 


පෙර සඳහන් කළ ලෙස එමඟින් ශික්ෂණය වූ පරපුරේ දුවා දරුවන් අද දවස ගෙවා දමන්නේ සිඟිති පාතාල සාමාජිකයන් ලෙස නම් එය සැබෑ පරිහානියක් ළඟා කර ගැනීමක් නොවේද? මාරියේ ෆුසෝ ලියූ ගෝඩ් ෆාදර්හිවත් නොමැති වදන් භාවිත කරමින් සිඟිති දුවා දරුවන් මෙලෙස හැසිරෙන්නේ කුමන අරමුණක් පෙරදැරිවද? පසුගිය දශක ගණනාවක තිස්සේ එකිනෙකාට අවි අමෝරා ගන්නා පාතාලයක් ගැන නොයෙකුත් කතා ප්‍රවෘත්තීන් පළ වුවද කුඩා දුවා දරුවන් එකිනෙකාට වචන මඟින් අවි අමෝරා ගන්නා පාතාලයක් පිළිබඳව කිසිදු සඳහනක් නොවිණි. සෙල්ලක්කාර මලියා, නදීර මැක්ස්, අට ශේ‍ර්ණියේ අයියා, නිකවැරටියේ සහන් නමින් සමාජ මාධ්‍ය භාවිත කරමින් හුවමාරු වූ කුඩා දරුවන්ගේ අවි අමෝරා සංවාද ඇතුළත් මෙම වීඩියෝ පට මඟින් ඔවුනොවුන් එකිනෙකාට තර්ජනය කරගෙන තිබුණේ ළමයින්ට නොව වැඩිහිටියන්ට පවා උචිත නොවන භාෂා භාවිතයකිනි. 

මෙම වීඩියෝ පට යූ ටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් තුළ සංසරණය වූයේ සිඟිති පාතාල රැල්ලක් ගොඩනංවමිනි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනය ඇනහිට තිබූ මොහොතක දරුවන් අන්තර්ජාලය මඟින් ඉගෙනුම් සහ ඉගැන්වීම්වල නිතරව සිටින විට මෙවැනි තත්ත්වයක් උද්ගත වීම අතිශයින්ම භයානකය. පාසල් යන, පාසල් අධ්‍යාපනයට සිය කාලය සම්පූර්ණයෙන්ම වැය කළ යුතු දරුවන් තම වයසට නොගැළපෙන දේ කරමින් අන්තර්ජාලය හරහා විනාශයට මඟ පාදා ගන්නා බවට මෙම වීඩියෝ පට කදිම සාක්ෂීන්ය. පෙර සඳහන් කළ ලෙස පාසල් අධ්‍යාපනය ලබනා දරුවන්ට නොගැළපෙන වචන භාවිත කරමින් තර්ජනාංගුලි එල්ල කරමින් එකිනෙකා කපා කොටා දමන බවට තර්ජනය කරන මෙම වීඩියෝ රැල්ල ගැන විමර්ශන ආරම්භ කරන ලෙස නියෝග කර ඇති වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එම මෙහෙයුම භාරදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ මහත්මිය වෙත අදාළ විමර්ශන කටයුතු භාර දුන්නායින් පසු මෙම සිඟිති පාතාල රැල්ල නිර්මාණය කළ වීඩියෝ පටවල සිටින දරුවන් කවුරුන්දැයි දින කිහිපයක් ඇතුළත සොයා ගැනීමට හැකිව තිබේ. සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සොයායන්නට සුවිශේෂී පුහුණුවක් ලද පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම සිඟිති පාතාල සාමාජිකයන් තම භාරයට ගත් පසු හෙළි වී ඇත්තේ අපූරු කරුණු කාරණාය.

එයට හොඳම නිදර්ශකය වන්නේ මන්නා පිහි රැගෙන සයිබර් අවකාශයේ චණ්ඩියකු ලෙස හැසුරුණු නිකවැරටියේ සහන් නමින් පෙනී සිටි පාසල් සිසුවා හා සබැඳි කතාය. නිකවැරටියේ සහන් නමින් පෙනී සිටියත් මෙම දරුවාගේ පළාත නිකවැරටියට තදාසන්න පෙදෙසක්ද නොවේ. දරුවා සිය භාරයට ගත් රහස් පොලිස් කණ්ඩායම ළමා හා යෞවන ආඥා පනතේ 71 වගන්තියට අනුව ඔහුව දරුවාගේ නිවෙසේදීම සිය භාරයට ගෙන තිබේ. මෙවැනි රළු, වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහරිමින් සිඟිති පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට තැත දැරූ මෙම දරුවාගේ පවුල් පසුබිම කුමක් දැයි යන්න අවබෝධ වෙත්ම විමර්ශන නිලධාරීන් පත්ව ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකටය.

දරුවා හැදී වැඩුණු සමාජ පරිසරය නිසා ඔහු මෙවන් ඉරණමක් ළඟා කර ගන්නට ඇතැයි විමර්ශකයන් සිතා සිටියද එය එසේ නොවිණි. නිකවැරටියේ සහන් ලෙස හයිකාරකම් පෙන්වූ මෙම දරුවාගේ මවුපියන් දෙදෙනාම ගුරුවරුන්ය. ඔවුනොවුන් දරුවන් දහස් ගණනකගේ ඇස් පාදමින් කිසිවකුගේ දෝෂ දර්ශනයට ලක් නොවී ඇසුරු කරන්නන් සමඟ සහයෝගයෙන් සහ එකිනෙකාට ගරු කරමින් ජීවත් වූ වැදගත් පුද්ගලයන්ය. නිකවැරටියේ සහන් 5 වසර ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත්ව මෙරට ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ දරුවෙක් පමණක් නොව එම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු කලක් තිස්සේ ඉගෙනීමට මෙන්ම රඟපෑමටත් දක්ෂයෙකි. විවිධ තේමාවන් ඔස්සේ වීඩියෝ පට සකසා ඒවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමට දැඩි ආසාවක් දැක්වූ අයෙකි. රඟපෑමට ඇති ඇබ්බැහිය නිසාම රඟපෑමේදී තමන් විසින් සිදු කළ යුත්තේ කුමක්දැයි යන්න තේරුම් ගන්නට නොහැකි වීම නිසා සහ සිඟිති පාතාල රැල්ලට හසු වී තමන් මෙවැනි වීඩියෝ පට ප්‍රචාරය කළ බව දරුවා විසින් පිළිගෙන තිබේ. 

තමන් ප්‍රථමව ප්‍රචාරය කරන ලද සිඟිති පාතාල රැල්ලේ වීඩියෝ පටවල බරපතළකම තේරුම් ගත් නිකවැරටියේ සහන් පසුව තමා විසින් සිදු කළ කාරණාවට අදාළව සමාව අයැද තවත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එමඟින් ඔහු පවසා සිටින්නේ “මම බරපතළකම නොදැනයි එවැනි වීඩියෝ පට ප්‍රචාරය කළේ. ඇත්තටම මට වුවමනා වුණේ චප්ප සිනමා චැනල් එක ප්‍රමෝට් කරන එක. ඒවායේ වීව්ස් වැඩි වෙන්න වැඩි වෙන්න මට වුවමනා වුණා අලුතින් වීඩියෝ පට නිර්මාණය කරන්න. නදීර මැක්ස්, සෙල්ලක්කාර මලියා, අට ශේ‍ර්ණියේ අයියා වැනි තවත් අය සිඟිති පාතාල රැල්ලට අදාළව වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියා.

මම කවම කවදාවත් ඔවුන්ව මුණගැසී නැහැ. එකට එක සිදු කිරීමක් පමණයි එම වීඩියෝ පට නිර්මාණයෙන් සිදු වුණේ. චප්ප සිනමා චැනල් එකට වීව්ස් වැඩි වෙනකොට හොඳ ආදායමක් උපද්දවා ගත හැකියි කියලයි මා විශ්වාස කළේ. මම නිකවැරටියේ සහන් නමින් වීඩියෝ පට මුදා හැරියත් එය මගේ සැබෑ නම නෙවෙයි. කොහොම වුණත් මා සිදු කළ කටයුත්තේ බරපතළකම මම දැන් තේරුම් ගනිමින් සිටින්නේ. ඒ නිසා ඒ පිළිබඳ මම සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.” 

තම දරුවන් මෙවන් ආකාරයට වීඩියෝ පට සමාජ ජාලා වෙත මුදා හැර ඇති බව තමන් නොදන්නවා යැයි නිකවැරටියේ සහන්ගේ මවුපියන් ප්‍රකාශ කර සිටියද තම දරුවා නළුවකු වීමට දැඩි අධිෂ්ඨානව සිටීම පිළිබඳ තමන් දැනුවත් වී සිටියා යැයි එම මවුපියන් පිළිගෙන තිබේ.

ළමා හා යෞවන ආඥා පනත යටතේ දරුවා අධිකරණයට ඉදිරිපත් කර ඔහු ළමා රැඳවුම් නිවාසයක පරිවාස භාරයට පත් නොකරන්න යැයි දරුවාගේ පියා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා දරුවා නැවතත් මවුපියන් භාරයට පත් කර ඇති අධිකරණය, තුන් මසකට වරක් ඔහු පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබේ. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වන මනෝ වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා පවසා සිටින්නේ තම දරුවන් මෙවැනි ආකාරයේ වරදක් සිදු කරමින් සිටින බව මවුපියන් දැනුවත්ව නොසිටි බව නොපිළිගත යුතුය යන බවය. එසේ විය හැක්කේ දරුවා සිය පවුලෙන් මඟ හැරී ගොස් සිටින විටෙක බව කමල් එස්. ජයසේකර මහතාගේ අදහසය. 

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සහාය මත සමාජ මාධ්‍ය තුළ අනිසි ආකාරයට හැසිරෙන මෙවන් දරුවන් කිහිපදෙනෙක් පිළිබඳ තම අධිකාරිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. දුරස්ථ ජාතික මනෝ සමාජීය සහන සේවය මඟින් මෙවැනි දරුවන් නිසි මඟට ගැනීමට අදාළ කටයුතු සංවිධානය කර ඇති බවද පවසන සභාපතිවරයා සිය දරුවන් අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිත කරන්නේ නම් ඒ කුමන අරමුණකින්ද යන්න පිළිබඳව මවුපියන් දැනුවත්ව සිටිය යුතු බව අවධාරණය කරයි. නදීර මැක්ස්, සෙල්ලක්කාර මලියා සහ අට ශේ‍ර්ණියේ අයියා යන ව්‍යාජ නම්වලින් වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර ඇති දරුවන්ගේ පවුල් පසුබිම පිළිබඳව සැලකිල්ලක් දක්වන විට එම දරුවන් මෙවැනි වීඩියෝ පට නිර්මාණය කළේ කෙසේදැයි යන්න පවා සිතාගත නොහැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ.

මවුපිය අනුදැනුමකින් තොරව යම් දරුවෙක් මෙවැන්නක් සිදු කරයි නම් එම දරුවාට විරුද්ධව ළමා සහ යෞවන ආඥා පනතේ 71 වගන්තියේ ප්‍රකාරවද ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 වැනි වගන්තිය ප්‍රකාරවද, අපරාධ නීතිය මඟින් දඬුවම් ලබාදිය හැකි බවද ඒ මහතා සඳහන් කරයි. කෙසේ වුවත් මෙවැනි දරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම දරුවන්ගේ පසුබිම සොයා බලා ඔවුන් සිදු කළ වරද සඳහා දඬුවම් කරනවාද එසේත් නොමැති නම් පුනරුත්ථාපන කාර්යයකට ලක්කර පරිවාසගත කරනවාද යන්න පිළිබඳවද තීරණය ගත යුත්තේ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් පසුව ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන්නේ මෙම දරුවන් පසුපස සිට මෙවැනි වීඩියෝ පට ප්‍රචාරය කරවීම සඳහා ඔවුන් පෙලඹ වූ පුද්ගලයන් වෙතය. එකම කාල වකවානුවකදී රටේ විවිධ ප්‍රදේශවලින් සමාජ ජාලා රැල්ලක් ඇති කර ඉන් අනිසි පල ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ දරන කවරකු සිටී නම් ඔහුට තරාතිරම නොබලා චෝදනා ගොනු කරන බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන අපරාධ විමර්ශන අංශ සඳහන් කරයි.

මෙම දරුවන්ගේ ක්‍රියාවන් පරිගණක අපරාධ පනත යටතේ උසාවියේ හමුවට රැගෙන යා හැකි යැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ නීතිය ඔවුන් මත ක්‍රියාත්මක වීමේදී මානුෂික ස්වභාවයකින් සිදු කළ යුතු බවයි. මේ පිළිබඳ ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවමින් අග්ගමහා පණ්ඩිත වල්පොළ පියනන්ද හිමියන් පවසා සිටින්නේ යුරෝපයේ රටක වුවද මෙවැනි සමාජ රැල්ලක් මෙතෙක් නිර්මාණය වී නොමැති බැවින් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය යුතු බවය. 




කතාව - ප්‍රභාත් අත්තනායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook