ඩොක්ටර් මට දැන් ගෙදර යන්න දෙන්න.
මංගලගේ අන්තිම පැය 24
මෙතෙක් හෙළි නොවූ කතාව
මංගලගේ අන්තිම පැය 24
මෙතෙක් හෙළි නොවූ කතාව
බොහෝ දේ දුන්න
අහෝ දේදුන්න!
නිදහසින් පසු මෙරට මතක ඇති ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද දවසේ බොහෝ සෙයින් පීඩිතව සිටින මිනිසුන් නුදුරු දිනෙකදී ම මෙසේ අසනු ඇත.
‘මංගල තවදුරටත් ජීවතුන් අතර නැද්ද..?’ මන්ද යත් ඔහු මියගිය බැවිනි. සිදුවිය නොහැක්කක් ලෙස, ඇදැහිය නොහැක්කක් ලෙස, සොබාදහමේ අතිශය කුරිරු අත්තනෝමතික ක්‍රියාවක් ලෙස ඔහු රටට අහිමි විය.
මරණින් පසු සාමාන්‍යයට වඩා මිනිසුන් මංගලගේ ගුණ ගැයුවේ සැබෑවට ම ය. ඊට නොරිසි කුහක සිත් ඇති එකෙකු දෙන්නෙකු ද විය. එහෙත් ඇත්ත නම් මංගල මිය ගියේ මිනිස් ධෛර්යය පිළිබඳ, දේශපාලන එඩිතර භාවය පිළිබඳ, කොටින්ම ම මනුෂ්‍යත්වය පිළිබඳ ඉතිහාස කතාවක් ඉතිරි කර තබමිනි. ‘පියේහි විප්පයෝගෝ දුක්ඛෝ’ හෙවත් ප්‍රියයෙකුගේ වෙන්වීමක් ලෙස බොහෝ දෙනෙකු ඒ සමුගැන් ම වැළඳ ගත්තේ එහෙයිනි.
එක්දහස් නවසිය හැට ගණන්වල සිට ලංකා දේශපාලන අඹරේ දිදුලන තරුවක් වූ තාත්තා මහානාම සමරවීරයන්ගේ අභාවයෙන් පසු අම්මා ඛේමා සමරවීර ක්‍රමයෙන් දේශපාලනයට අවතීර්ණ වූවා ය. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර නගර සභාව ද නියෝජනය කළා ය. දරුවන් තුන් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පුතා එංගලන්තයට ගොස් ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස අධ්‍යාපනය ලබා රැකියාව කරමින් පදිංචිව සිටියේ එහි ය. තාත්තාගේ මරණින් පසු අයියා වැඩිදුර අධ්‍යාපනය සඳහා මංගල එංගලන්තයට ගෙන්වා ගත්තේ ය. එහිදී ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියකින් ඉහළ නිපුණත්වයක් ලබා ගැනීමට මංගල සමත් විය. ඒ සම්බන්ධයෙන් දේශකයෙකු ලෙස එම විශ්වවිද්‍යාලයේ ම සේවය කරන්නට මංගලට ආරාධනා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් 80 දශකයේ මැද භාගයේ පමණ නැවත ලංකාවට ආවේ ය.
ඒ වන විට පැවතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ය. 83 කළු ජූලිය දඩමීමා කර ගනිමින් දේශපාලන වශයෙන් ජවිපෙ තහනම් කර තිබිණි. 87-88 වන විට රට තුළ භීෂණය රජ කරමින් තිබුණේය. ඔය අතරේ මහානාමගේ පුතා මංගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක පදවියට පත් වන්නේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආශීර්වාදයෙනි.
එතැන් පටන් 89 භීෂණයෙන් පසු ‘මරණයේ දේශයට ජීවිතය රැගෙන එමි...’ යන්න තේමා කොට ගනිමින් මංගලගේ නිර්මාණශීලී දේශපාලනය මාතරින් ඇරඹුණු හැටි අද සිහි කිරීමත් ආශ්වාදනීය ය. ඉතා ම ටික කලකින් එය ජාතික දේශපාලනය දක්වා විහිද ගියේ භීෂණයේ වේදනාවෙන් කඳුළු සලන අම්මලා මංගලගේ මූලිකත්වයෙන් ‘මවු පෙරමුණ’ හරහා සංවිධානය කිරීමෙනි. 89 භීෂණයෙන් පසු යූඇන්පීය පරාජය කළ පළමු වෙඩි මුරය වූයේ දකුණු පළාත් සභා මැතිවරණය ය. ඒ මැතිවරණ සටනේදී මවු පෙරමුණේ අම්මලා තම මරා දැමූ පුතුන්ගේ ඡායාරූප රැගෙන කඳුළු සලමින් පෙරහරින් පැමිණ මංගල සමග අත්වැල් බැඳ ගත් සැටි ඒ කාලයේ මංගලගේ මාතර ගෙදර ගිය අපට සියැසින් දැක ගන්නට ලැබිණි.
විජය කුමාරණතුංගයන්ගේ මරණින් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක මුල් ම වරට එංගලන්තයේ සිට ලංකාවට පැමිණ 1993 දේශපාලනය පටන් ගන්නා විට ඇය බස්නාහිර මහ ඇමති අපේක්ෂකත්වයට ඔසොවා තබන්නට සටන් කළේ මංගල ය. අනතුරුව ඇයට ශ්‍රීලනිප නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නට සටන් කළේ මංගල ය. පක්ෂය තුළ තිබුණේ සීතල යුද්ධයකි. අනුර බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායම වෙන ම කල්ලියක් විය. මංගල, චන්ද්‍රිකා ජනාධිපති කරන මැතිවරණ සටනේ මුළු බර කරට ගෙන එය ජයග්‍රහණය දක්වා ගෙන ගියේ ය. එතැන් පටන් මේ ඊයේ පෙරේදා මියයන තුරු ම මංගල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කුලුපග මිතුරෙකු විය. දේශපාලනයේදී එවැනි දිගු කාලීන මිතුරුකම් දුර්ලභය, අසීරු ය.
මෙරට ඉතිහාසයේ විටින් විට විදුලි සන්දේශ, ජනමාධ්‍ය, වරාය හා නාවික සහ අවසානයේ මුදල් ඇමැතිවරයෙකු ලෙස මංගල සමරවීරයන් සනිටුහන් කළ විශිෂ්ට ලකුණ අනුපමේය වන්නේ ය.
අනූව දශකයේ මුල විදුලි සන්දේශ ඇමැතිවරයා ලෙස මංගල වැඩ පටන් ගන්නා විට ස්ථාවර දුරකතනයක තිබුණු දුර්ලභ බව ඉතිහාසය මතක ඇති අයට කියා දිය යුතු නැත. මුළු ගමකට ම තිබුණේ ටෙලිෆෝන් එකක් හෝ දෙකකි. ටෙලිෆෝන් සුලබ කිරීම සඳහා මංගල වැඩ පටන් ගන්නා විට විදුලි සන්දේශ වෘත්තීය සමිති පවා විරුද්ධ විය. ඇමැතිවරයෙකු කිසිදා නොකරන අයුරින් මංගල වෘත්තීය සමිති නායකයන්ගේ දුවා දරුවන් ඇතුළු පවුල්වල අය ගෙන්වා දියුණු ලෝකයට මෙහි ඇති අවශ්‍යතාව පැහැදිලි කර දුන්නේ ය. අද මේ තරම් උපරිමයකට විදුලි සන්දේශ සේවය පැමිණ ඇති ගමනේ සැබෑ ගෞරවය හිමි විය යුත්තේ මංගලට ය.
නාගරික සංවර්ධනයේ සැබෑ නිර්මාණාත්මක ඇමැතිවරයා මංගලය. නගර අලංකරණය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණේ ය. ගාලු මුවෙදාර බේරේ වැව මුලින් ම නගර අලංකරණයට හඳුන්වා දුන්නේ ඔහු ය. එහිදී ඔහු ගත් තීරණ මාතර ද කොළඹ ද කියා ඡන්ද හෝ මනාප බලාගෙන වෙනස් කළේ නැත. පුංචි බොරැල්ල මහ පාරට විශාල කරදරයක් වූ බෝධියට මංගල අත තබන විට බොරු බෞද්ධයන් මර හඬ දුන්නේ ය. එහෙත් මංගල එක්තරා රාත්‍රියක බෝධි ප්‍රාකාරය නොව නිස්කාරණ බැම්ම ඉවත් කොට අදටත් ලස්සනට තියෙන පුංචි බොරැල්ල බෝධිය ජනතාවට පූජා කළේය.
ලංකා ඉතිහාසයේ ඇත්තටම මාධ්‍ය ඇමති කෙනෙක් විදිහට දැනුණු මිනිසා මංගල සමරවීර ය. මාධ්‍යකරුවන්ගේ පොදු අවශ්‍යතා හොඳින් පිරිමැද ඒවා සුන්දර කැටයම් වචන අතර පමණක් අතරමං කර කිසිත් නොකරන මාධ්‍ය ඇමතින් අතර මංගල සැබෑ මාධ්‍ය ඇමති භූමිකාවකට පණ පෙව්වේ ය. මෙරට මාධ්‍ය කලාවට උත්කෘෂ්ට මෙහෙවරක් කළ සුනිල් මාධව ප්‍රේමතිලක වැනි මාධ්‍යකරුවන් අද වියපත් සමය ගෙවන්නේ මංගල දුන් සෙවණේ ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන සටනේ පෙරමුණේ රාල වූයේ මංගල සමරවීරය. ඔහු එහි නීත්‍යනුකූල කැම්පේන් මැනේජර් ලෙස කර උර දී කටයුතු නොකරන්නට සමහර විට ඒ සිහිනය බොඳ වී යන්නට ඉඩ තිබිණි. පෝස්ටරයේ සිට ජාතික තලයේ රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු හැම දෙයක් ම උපාය උපක්‍රමික ලෙස සංවිධානය කළේ මංගල ය. ඔහු ඒ ආණ්ඩුවේ වරාය හා විදේශ කටයුතු ඇමති විය. ටික කලක් යන විට කෙනෙහිලිකම් මධ්‍යයේ එයින් එක් ඇමතිකමක් ගලවන්නට යන විට දෙකම එපා යැයි කී මංගල ඒ ආණ්ඩුවෙන් ඉවත් විය.
මංගල යුක්තිය රැඳී ඇති මාවත මිසක වාසිය රැඳී ඇති මාවත සෙවූ දේශපාලනඥයෙකු වූයේ නැත. කෙළින් කතා කළේ ය. කෙළින් වැඩ කළේ ය. භික්ෂුන් දේශපාලනයට ප්‍රවිෂ්ට වීමත් එයින් ප්‍රතිපාදන ලබා ගැනීමත් ඒ නිසාම ආණ්ඩුවල වැරදි අනුමත කිරීමත් මගින් රටේ අසරණ ජනතාවට සිදුවන අසාධාරණය ඔහු එදා පැහැදිලි කළේ සැබෑ බෞද්ධයෙකු ලෙසිනි. අද වන විට ඕමල්පේ සෝභිත, අධිකරණ සංඝනායක අත්තංගනේ රතනපාල වැනි ගරු කටයුතු නායක හිමිවරුන් භික්ෂු දේශපාලනයේ ඒ අභාග්‍යය ගැන ප්‍රසිද්ධියේ දේශනා කරමින් තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කර 2015 ආණ්ඩුව හදන්නට නියම වැඩ කොටස කළේ මංගල ය. ඒ වන විට ජීඑස්පී සහනය අත්හිටුවා මාළු අපනයනය නැවතී රට තිබුණේ නන්නත්තාර තැනක ය. මානව හිමිකම් පැත්තෙන් ද ලංකාව ලෝකයා ඉදිරියේ බාල්දු වී සිටියේ ය. ඒ ආණ්ඩුවේ විදේශ ඇමතිකම භාර ගෙන ඒ සියල්ලක් ම යළි රටට දිනා දීමට මංගල සමත් විය. කොටින් ම ඔහු කොයිතරම් දුරට ලෝක නායකයන්ගේ ආකර්ෂණය රට කෙරෙහි දිනා දුන්නේ ද යත් වසරක් ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා කරන තැනට මංගල ලංකාව ලෝකයා ඉදිරියේ ජනප්‍රිය තැනට ගෙනාවේ ය. පසුව ඒ ආණ්ඩුවේ මුදල් ඇමතිකමේ අභියෝගය භාර ගත් මංගල ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක් මැතිවරණ කොට්ඨාසයක් සඳහා ලක්ෂ 4000ක ප්‍රතිපාදන වෙන් කරමින් තරුණ තරුණියන් ලවා ව්‍යාපාර ආරම්භ කර ග්‍රාමීය ආර්ථිකය රටට ඵලදායී ලෙස ගොඩනැංවීමට සැලැසුම් සකස් කළේ ය. එහෙත් විරුද්ධ බලවේග ඒ රජය පරාජය කිරීම නිසා වැඩපිළිවෙළ ඉදිරියට යා නොහැකි විය. එදා මුදල් ඇමති හැටියට මංගල හඳුන්වා දුන් මිල සූත්‍රයට සිනාසුණු අය අද නැවතත් මිල සූත්‍ර ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඩොලර් අර්බුදයේ කරවටක් එරුණු පසු ය.
කොවිඩ් වසංගතයෙන් දරුණුවට බැට කෑ ගිය වසරේ නිසි කලට එන්නත් සපයා ගැනීමට නොහැකිව ලංකා ආණ්ඩුව බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියදී පටු දේශපාලන භේද නොතකා මංගල ඉදිරිපත් වූ බව තවමත් රට නොදන්නා රහසකි. වහා ම අමෙරිකාවෙන් එන්නත් ලබා ගැනීම සඳහා මංගල හරහා උපකාර ලබා ගැනීමට ජනාධිපති උපදේශකයන් දෙදෙනෙකු හා සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකු මංගලට කතා කළේ ය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු කාර්යාංශයේ (යූඑස්ඒඩ්) ප්‍රධානි හා හිටපු ජනාධිපති ඔබාමාගේ උපදේශකයෙකු වන සමන්තා පවර් කාලාන්තරයක් තිස්සේ මංගල සමරවීරයන්ගේ අතිශය හිතවත් මිතුරියකි. මංගලගේ දේශපාලන ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් 2019දී පැවැති උත්සවයට අමෙරිකාවේ සිට පැමිණ දින 3ක් මෙහි ගත කළ ඇය එහි මුඛ්‍ය දේශනය ද පැවැත්වූවා ය. මංගල මේ ඉල්ලීම ඇගෙන් කළ විට අමෙරිකානු රජය වහා ම එන්නත් ලක්ෂ 15ක් ලංකා රජය වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කළේ ය. ඒ ගැන කිසිදු ආකාරයේ ප්‍රචාරක වාසියක් ලබා නොගන්නැයි මංගල සිය කාර්ය මණ්ඩලයේ තුසිත හල්ලොලුවට පවසා තිබිණි. මොන ආණ්ඩුව තිබුණත් මංගල එය කළේ රටේ ජනතාව වෙනුවෙනි. ඔහු එවැනි උත්තුංග ලක්ෂණවලින් හෙබි පරිණත මිනිසෙකු විය.
අවසන් 2019 ජනාධිපතිවරණයෙන් පසු මංගල කිසියම් දේශපාලන කලකිරීමකින් ගත කළ බව සැබෑය. 2020 මුල වන විට විරුද්ධ පක්ෂයේ බෙදීම් හා කුළල්කා ගැනීම් ගැන මංගල මහත් සේ දුක්විය. එය සමහන් කිරීම සඳහා වෑයම් කළේ ය. ජනාධිපතිවරණයේදී මාතර ආසනය විශාල ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වීම ගැන ඔහු කනගාටුවෙන් කතා කළේ ය. අවසන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට නාම යෝජනා පවා භාර දී සිටි මංගල මාතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තේ ය.
ඔහු තරම් සෑම ඉසව්වකින් ම මාතරට සේවය කළ දේශපාලනඥයෙකු නැත. ජනාධිපතිවරණයෙන් පරාජය වන විට මාතර නිල්වලා ගඟ අසබඩ ලෝකයේ දියුණු ම සහ නවීනතම පන්නයේ උද්‍යාන පුස්තකාලයක් තැනීමේ නිර්මාණාත්මක කාර්යයට මුදල් පවා වෙන් කර තිබිණි. එය ඔහුගේ සිතේ තිබුණු ලොකු සිහිනයක් විය.
“අපි මිනිසුන්ට ගොඩක් දේ කළා. පඩි වැඩි කළා. බඩු මිල අඩු කළා. හොඳ රස්සාවල් දුන්නා. ආසනයකට ලක්ෂ 4000 ගාණෙ වෙන් කළා. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා. මේ ඔක්කොම කරල මිනිස්සු මේ දේශපාලනය දකින්නෙ මෙහෙම නම්, බොරුවලට රැවටෙනව නම් ,අපි යෙදිල ඉන්නෙ තේරුමක් නැති හිස් සටනක...” මංගල කියා තිබිණි.
පසුගිය කාලයේ දවසක බොල්ගොඩ ගෙදර රාත්‍රී හමුවකදී තමන් යළි එංගලන්තයට ගොස් ජීවත් වන්නට තීරණය කරන බව මංගල හිතවතුන්ට කීවේ ය. ඒ තීරණය වෙනස් කර ගන්නා ලෙස ද තවදුරටත් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනය තුළ ජීවත් වන ලෙස ද සමීපතමයන් ඔහුගෙන් ඉල්ලුවේ ය.
කෙසේ නමුත් ඊට දින 2කට පසු මංගල හදිසියේ ම මාතර මහ ගෙදර ගියේ ය. ඔහු පැමිණි බව දැන ගත් පාක්ෂිකයන්, හිතවතුන් ඔහු දකින්නට පැමිණ තිබිණි. ඒ ගමන නිමවා කොළඹ පැමිණි ඔහු දැඩි සිත් තැවුලකින් කතා කළේ ය.
“මම මාතර ගෙදර ගියා ම ලොකු වේදනාවක් ඇතිවුණා. මාව බලන්න හරියට මිනිස්සු ආවා. ඇත්තට ම මම දැක්කෙ ඒ මිනිසුන්ගෙ දුප්පත්කම බේරෙනවා. ඒ අයගෙ මූණු, ඇඳගෙන ඉන්න ඇඳුම්, සමහර අම්මලාගෙ සෙරෙප්පු පවා කියාපෑවෙ ඒ දරිද්‍රකම. මට මේ මිනිස්සු දාල වෙන රටක ගිහින් ජීවත් වෙන්න බෑ. අපි ගියොත් ඒ මිනිස්සු මොනව ද කරන්නෙ. අපි දේශපාලනය කියල මෙච්චර කල් මොනව ද කරල තියෙන්නෙ...”
මංගල සමරවීර හරි සංවේදී මිනිසෙකු විය. බොල්ගොඩ හෝ ඇමති නිවසක සිටියදී ගෙදර ඇතිදැඩි කළ සුරතල් බල්ලෙකු මැරුණු අවස්ථාවක සතා වළ දමා ඒ මත මල් පැළයක් සිටුවා පුටුවක් තියාගෙන දවසක් ම එතැන බලා සිටීමේ පුදුමාකාර කාරුණික හදවතක් ඔහු සතු විය. අවසන් වරට අසනීප වී බොල්ගොඩ නිවෙසින් රෝහල කරා එනවිට මෙතෙක් තමන්ට ඇප උපස්ථාන කරමින් උයා පිහා දුන් සහායකයාට කිසියම් මුදලක් පරිත්‍යාග කර ඒමට අමතක කළේ නැත.
මාරාන්තික කොවිඩ් රෝගය මංගල බිලි ගැනීමේ සිදුවීම දින කිහිපයක් තුළ සිදු වූ කනගාටුදායක කතාවකි. 2021 පෙබරවාරි 20 සහ මැයි 20 වන දා ඔහු එන්නත් දෙක ම ලබා ගෙන තිබුණේ ය. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් එන්නත් පිළිබඳ ඔහුට ලොකු විශ්වාසයක් විය.
අවසන් සෙනසුරාදා මංගල කොළඹ ආවේ ඒ වන විට කොවිඩ් වැළඳී සිටි තුසිතට බොල්ගොඩදී පිළියෙල කළ සීනි සම්බලක් සහ මාළු ඇඹුල්තියල් බඳුනක් දෙන්නට ය. ඔහු රෝගී නිසා ඒවා ඔහු ජීවත් වූ මහල් නිවාසයේ ‘ගාඩ්රූම්’ එකට භාර දී මංගල ගෙදර ගියේ ය.
පසුදා ඉරිදා තමන්ට ඔළුව රිදෙන බවත් ඇඟපත තෙහෙට්ටු ගතියක් දැනෙන බවත් කී මංගල ගෙදර විවේක ගන්නට තීරණය කළේ ය. ඒ නිවස බොල්ගොඩ වැවට මුහුණ ලා පිහිටි අතිශය සුන්දර තැනකි. ඉරිදා රාත්‍රිය අසීරුවෙන් ගත කළ මංගල පසුදා ඇන්ටිජන් පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය. ඔහුට පොසිටිව් බව දැන ගත්තේ ය.
මංගලගේ මිතුරකු වූ වෛද්‍යවරයෙක් සහ හෙදියක් නිරන්තර ඔහු ගැන සැලකිලිමත් විය. ඔහු බලන්නට ගියේය. සඳුදා, අඟහරුවාදා අමාරු තත්ත්වයක් තිබුණේ නැත. එහෙත් බදාදා වන විට ඔක්සිජන් අඩු ගතියක් පෙනිණි. ‘අවදානමක් ගන්න එපා ඇඩ්මිට් වෙන්න...’ වෛද්‍යවරයා කීවේ ය.
මංගල කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ. ‘මට ඇඩ්මිට් වෙන්න කිව්වෙ අමාරු හින්දද...’ සාමාන්‍යයෙන් ලෙඩ රෝගවලදී සැලෙන මංගල ටිකක් චකිතයෙන් ඇසුවේ ය.
ක්‍රමයෙන් මංගලගේ වකුගඩු, අක්මාව වැනි අභ්‍යන්තර ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් දැන ගන්නට ලැබිණ. ඒ නිසා කොළඹ පෞද්ගලික රෝහලක කොරෝනා සඳහා ම වෙන් කළ සුවිශේෂී ඒකකයකට මංගල මාරු කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිරන්තරව මංගලගේ රෝගී තත්ත්ය ගැන සැලකිලිමත් වූවා ය.
ක්‍රමයෙන් අසනීපය දරුණු නියුමෝනියා තත්ත්වයකට පෙරළී තිබිණි. හුස්ම ගැනීම පහසුවනු පිණිස ඔක්සිජන් මාස්ක් බරපතළ ලෙස යොදා ගැනීම නිසා සියුම් සමක් සහ තරමක පළල් මුහුණක් තිබුණු මංගලට දැඩි අසීරුවක් දැනෙන්නට විය. ඔහුගේ මුහුණේ තැන තැන රතු පැල්ලම් ඇති වී තුවාල හට ගෙන තිබිණි. ඔහු ඒවායින් සෑහෙන පීඩා වින්දේ ය. ඔහු සිටියේ සිහි නැති තත්ත්වයෙන් නොව හොඳ සිහියෙන් නිසා ඒ වේදනාව දැඩි ලෙස දැනෙන්නට විය. අනෙක් අතට ඔක්සිජන් මාස්ක් නිසා උඩ බලාගෙන ම සිටින්නට සිදුවීම ගැන මංගල එතරම් රුචි වූයේ නැත.
‘ඩොක්ටර් මට දැන් ගෙදර යන්න දෙන්න..’ තමන් ළඟට පැමිණි මිතුරු වෛද්‍යවරයකුට මංගල කීවේය.
‘එහෙම ලොකු අමාරුවක් නැහැ. තව දවසක් දෙකක් ඉමුකො’... වෛද්‍යවරයා කාරුණික ලෙස මංගලට කීවේය.
සුව දුක් විමසමින් නොයෙක් දේ කියමින් මිතුරන්ට, හිතවතුන්ට ඔහු නිරන්තර කෙටි පණිවිඩ යැවීය. ‘මට දැන් හිටියා ඇති කියල හිතෙනවා...’ දරා ගැනීමේ අසීරුවෙන් මංගල වරක් කීවේ ය.
වෛද්‍යවරු කිව නොහැකි තරම් වෙහෙසක් ගත්තේ ය. හෙදියන් ද සෞඛ්‍ය සේවකයන් ද ඔහුට දැඩි ලෙස ආදරය කළේ ය. තත්ත්වය දරුණු වනවිට ඉතා වටිනා දුර්ලභ එන්නත් දෙකක් මංගල වෙනුවෙන් පාව්චිචි කෙරිණ. එක්තරා පෞද්ගලික රෝහලක් තමන්ට තිබුණු එක ම එන්නත මේ වටිනා රෝගියා වෙනුවෙන් එව්වේ ය. එහෙත් වෛද්‍යවරුන්ගේ උත්සාහය පරාජය වන ලකුණු පහළ වෙමින් තිබුණේ නියුමෝනියා තත්ත්වය පහවෙමින් ගිය ද මංගලට හෘදයාබාධ ලක්ෂණ මතු වන්නට වීම නිසා ය. එය කොවිඩ් රෝගයේ දරුණු අතුරු ආබාධයකි. කෙසේ නමුත් අවසන් දිනයට කලින් දා මංගලට සුළු හෘදයාබාධ තත්ත්වයක් ඇති වූයේ ය. වෛද්‍යවරු මංගල වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරද්දී දෙවන වතාවට ආ හෘදයාබාධයෙන් මංගල අවසන් හුස්ම හෙළුවේ ය.
නිදහසින් පසු දරුණුම ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක අපි දැන් කරවටක් ගිලී සිටිමු. මංගල වැනි දැක්මක් සහිත දේශපාලනඥයන්ගේ පෙරමුණු මග පෙන්වීම අවැසිම කාලයක ඔහු වැනියවුන් අහිමි වීම බරපතළ ඛේදවාචකයක් බව සැබෑ ය.
ලංකාව දියුණු සංවර්ධිත රාජ්‍යයක් කිරීමට නම් ජාතිවාදය, ආගම්වාදය, කුලගෝත්‍රවාදය නමැති පොදු සතුරන් පරාජය කළ යුතු බව තරයේ ඇදහූ මංගල, නිදහස් නිවහල් චින්තනයක් සහිත සැබෑ දේශප්‍රේමී පරපුරක් තැනීම වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. පසුගාමී ගෝත්‍රවාදී අන්තගාමීත්වය වෙනුවට නිදහස් ලිබරල් දේශපාලන අවකාශයක් වෙනුවෙන් ඔහු නිරන්තර සටන් කළේ ය. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී වූ බෙදීම් ද උඩරට, පහතරට, ගොවිගම, කරාව, සලාගම ආදී වූ බෙදීම් ද පරයා විවිධත්වය තුළ එකිනෙකාගේ අනන්‍යතාවට ගරු කරන එකිනෙකා අවබෝධ කර ගනිමින් ඒවාට ගරු කරමින් එක්ව ජීවත් වීමේ සැබෑ සංහිඳියාව අවධාරණය කළේ හුදු දේශපාලන වාසි වෙනුවෙන් කුහක ලෙස ඒ බෙදීම් පවත්වාගෙන යන්නට වෙර දරන සතුරන්ට එරෙහිව නොබියව නොපැකිළව නැගී සිටිමිනි. ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුළ නිර්භය කැරලිකරුවා ඔහු බවට සැකයක් නැත. මංගල ශ්‍රී ලාංකේය දේශපාලන අඹරේ සප්ත පැහැය තැවරූ දේදුන්න ලෙස හඳුන්වමින් ඔහුගේ වියෝව දා භාරතී වීරසිංහයන් තැබූ ෆේස්බුක් වදනකින් මේ සටහන අවසන් කරමි.
බොහෝ දේ දුන්න
අහෝ දේදුන්න!
තිස්ස කොරතොට
